nsb

Mar 01, 2017

'මිලියන 990ක වංචාවක්' : රාජිතත් 'ටොප් 10' ලයිස්තුවට !

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන එන්නතක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 990ක වංචාවක් සිදුකර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය අද (01) චෝදනා කළේය.

ඒ අනුව ටොප්ටෙන් ලැයිස්තුව යටතේ 09 වැන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

"මෙම ඖෂධය පිළිකා රෝගීන්ට නුසුදුසුයි කියලා නිර්දේශ කරලා තිබෙනවා. මේක ලෝකයේ කිසිම රටක මේ සඳහා භාවිතා කරන්නේ නැහැ. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතියක් පමණක් අරගෙන මේ ඖෂධය ලබා ගන්න කියන නිර්දේශය සෞඛ්‍ය ඇමතිවරයා විසින් දී තිබෙනවා." යයි එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔය කියන්නේ අමූලික බොරු :

ඒකාබද්ධ විපක්ෂයේ මෙම චෝදනාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම චෝදනා අමුලික බොරු බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

"ඒකාබද්ධ විපක්ෂය ටොප් 10 යටතේ චෝදනා අද මට ඉදිරිපත් කර තිඛෙනවා. එම චෝදනා අමූලික බොරු. සෞඛ්‍ය අමාත්‍යාංශයට කාටවත් අවශ්‍ය පරිදි ඖෂධ ගෙන්වන්න බැහැ. ඖෂධ ගෙන්විය හැක්කේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණයි.

මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ ජාවාරමක් තිබුනා.

ඖෂධ සමාගම්වල මුදල් මත තමයි ඒකාබද්ධ විපක්ෂය අද අදහස් පළ කරන්නේ. එදා එම පුද්ගලයින් වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යධූරයේ රාජකාරී කටයුතු සිදු කිරීමේ දී ඊට බාධා එල්ල කළා.

රාජපක්ෂලා සම්බන්ධයි :

රාජපක්ෂ පවුලේ පිරිස් ඖෂධ කොල්ලයට සම්බන්ධ වී සිටියා. සමාගම් සමග ගණුදෙනු කළා. පැහැදිලි චෝදනා තිඛෙන අතර, ඒවා ඔප්පුවෙමින් පවතිනවා.

කිසිදු ක්‍රමවේදයක් නොමැතිව ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇතැම් අවස්ථාවල දී ලබාගෙන ඇත්තේ රජගෙදර උපදෙස් මතයි.

ලිනීයර් ඇක්සෙලේටර් නැමැති ශල්‍ය උපකරණය මිලදී ගැනීම ඊට හොදම උදාහරණයක්. එම උපකරණය ඩොලර් මිලියන 08 ක් අඩුවෙන් ලබාදීමට ආනයන සමාගම අද මට පොරොන්දු වී තිඛෙනවා.”

පිළිකා ඖෂධ මාෆියාව :

"පිළිකා ඖෂධ සම්බන්ධයෙන් ද ජාවාරමක් තිබුනා. එක්තරා බහුජාතික සමාගමක් රුපියල් දෙලක්ෂ 85,000 කට පිළීකා ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබුනා.

වෙනත් කිසිම සමාගමකට එම ඖෂධය ආනයනය කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ. නමුත් ඊට ආදේශකයක් හදුන්වා දුන් පසු ඖෂධය රුපියල් එක්ලක්ෂ 40,000 දක්වා අඩු වුනා.

එක් ඖෂධයක් පමණක් නොවෙයි ඖෂධ ගණනාවක මෙම ජාවාරම සිදුවී තිඛෙනවා.

අද දින මාධ්‍ය හමු පවත්වමින් චෝදනා එල්ල කරන ඒකාබද්ධ විපක්ෂයේ අය ඖෂධ ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, ඖෂධ ජාවාරම් ගැන දන්නේ නැහැ. අවබෝධයක් නැති අය තමයි කථා කරන්නේ. ඒ ඖෂධ සමාගම්වල වුවමනාව මතයි.

ලැඡ්ජා නැති මහත්වරු:

ලැඡ්ජා නැති මහත්වරු ඖෂධ ගැන මාධ්‍ය හමුවල දී කථා කිරීම විලිලැඡ්ඡාවක් බව මම කියන්න කැමැතියි.

මට පහර ගැසීමට ඇතැම් පත්තරවලට උදව්‍ කිරීමට පසුගිය කාලයේ දී ඇතැමුන් උත්සාහ කළා. ඇවන්ගාඩි සිද්ධිය එවැනි උදාහරණයක්.

රුසියාවෙන් ආනයනය කළ පිළිකා ඖෂධය භාවිතයට සුදුසු බව ප්‍රකට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජයන්ත බලවර්ධන මහතා ද තහවුරු කර තිඛෙනවා.

ධීවර වරාය සංවර්ධනය කිරිම පිළිබද චෝදනාව ගැන මට කියන්න තිඛෙන්නේ චෝදනා ඉදිරිපත් කිරිමට ඕනෑම අයෙකුට හැකියාවක් ඇති බවත්, ඒවා ඔප්පු කළ යුතු බවත්ය.” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත් :


'ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්' - රාජිත

ඖෂධ සමාගමක් රාජිතට එරෙහිව නඩු මගට !

'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි 

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි 

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි 

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි ! 

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක් 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top