nsb

Mar 03, 2017

වත්මන් පාර්ලිමේන්තුව මහළු මඩමක් ? Featured

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 න් වයස 35ට අඩු තරුණ  නියෝජනය බැලුවහොත් තරුණ මන්ත්‍රීවරුන් සිටින්නේ 14දෙනෙකු පමණක් බවත්, වයස 29ට අඩු තරුණ නියෝජනය සලකා බැලුවහොත් සිටිනුයේ තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඔහු මේබව කියා සිටියේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ලංකාවේ මැතිවරණ නීතිය අනුව වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් තරුණ නියෝජනය ලෙස සලකන අතර, ජාත්‍යන්තර නීතිය අනුව වයස අවරුදු 29ට අඩු පුද්ගලයන් තරුණ නියෝජනය ලෙස සලකන බව ද ඔහු කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව දකුණු ආසියාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් (80%) තිබූ ලංකාව වර්තමානය වන විට 60% ක් වැනි අඩු ඡන්ද ප්‍රතිශතයක් දක්වා  පහළ මට්ටමකට  පැමිණිය හැකි බව මෑත කාලයේ කළ විමර්ශනයක දී හෙළි වී ඇති බව කීය.

තරුණයින් ඡන්දය භාවිතා කිරීමට හා දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු නොවීම මේ තත්ත්වයට බරපතල ලෙස බලපා ඇති බවද ඔහු සඳහන් කළේය.

වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමඟ තරුණ ප්‍රජාව වැදි කාලයක්  වැය කරන සමාජ ජාලා හරහා ප්‍රජාතන්ත්රවාදය හා සර්වජන ඡන්ද බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තරුණ තරුණියන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ දේශපාලනය කෙරෙහි දක්වන අයහපත් ආකල්ප දුරු කර යහපත් ආකල්ප වර්ධනය කර ගැනීමට මඟ පෑදෙන බවටද ඔහු විශ්වාසය පල කළේය.

අඩුම වශයෙන් සමාජ ජාලා හරහා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු  ව්‍යවස්ථා 03 සම්බන්ධයෙන්වත් තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් යොදා ගැනීමට  හැකිනම් වඩාත් වැදගත් වන බව ඔහු කීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top