Mar 03, 2017

පිටරට නඩුකාරයන් “එන්නත් පුළුවන්” - මංගල (වීඩියෝ) Featured

යුද්ධයේ අවසන් භාගයේදී සිදුවූ අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විභාග කිරීමට විදෙස් විනිසුරන් දායක කර ගැනීමේ අවකාශයක් පවතින බව විදේශ අමාත්‍යවරයා ජිනීවා නුවරදී ප්‍රකාශ කරයි.

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී ඇතුළු විදේශීය නියෝජිත සභාවක් සමග පැවති සාකච්ඡාවකදී නඩු ඇසීම සඳහා දායක කරගන්නවුන් සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරය කිහිප වර විමසන ලදුව මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේ විදේශීය නඩුකාරයන් “ඇතිව හෝ නැතිව” විශ්වසනීය වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම රජයේ අභිලාෂය බවයි.

වඩාත් හොඳ සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණය තෝරා ගැනීම සඳහා තිබෙන සියලු විකල්ප අධ්‍යයනය කිරීමට ඉහළ පෙලේ නීති විශේෂඥ මණ්ඩලයක් පත් කොට තිබෙන බවද ඔහු කියා සිටියේය.

PIC 01 1“විදේශීය විනිශ්චයකාරවරුන් ඇතිව වේවා, නැතිව වේවා අප විසින් ගෙන එනු ලැබෙන්නේ විශ්වසනීය සහ ස්වාධීන යාන්ත්‍රණයක්,” යයි විදේශ අමාත්‍යවරයා සභාවේ සිටි මානව හිමිකම් ක්‍රියාධාරීන්, විදේශීය මාධ්‍යවේදීන් සහ දෙමළ ඩයස්පෝරා නායකයන් හමුවේ සහතිකයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා විභාග කිරීමේදී විදේශීය විනිසුරුවන්ගේ දායකත්වය බැහැර නොකරන බව පසුගිය මැයි මාසයේද ජිනීවාහිදී දෙමළ ඩයස්පෝරා නායකයන්ද සහභාගි වූ සභාවක් අමතමින් කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් වුවන් සඳහා යුක්තිය ඉටු කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන් කැඳවා ගැනීමේ ඉඩකඩ බැහැර කොට නැති බවයි.

ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවද හවුලේ 2015 සම්මත කරගත් යෝජනාවේ ගිවිසගෙන ඇති පරිදි යුද අපරාධ විභාගය කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට “විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන් සහ අභිචෝදකයන් සහ විමර්ශකයන්,” ඇතුලත් විය යුතු බවයි.

සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාවේ යෙදවීම සඳහා ජනවරමක්

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ පිළිතුරෙන් සෑහීමකට පත්වූ බවක් නොපෙන්වූ සභාවේ සිටි කැනඩා මන්ත්‍රීවරයා කියා සිටියේ විදේශීය විනිශ්චයකාරවරුන් ගෙන්වීම සම්බන්ධයෙන් රට තුල කෙරෙන ප්‍රකාශ වලින් ආණ්ඩුව ආපස්සට යන බවක් විදහා දැක්වෙන බවයි.

තමන් ශ්‍රී ලංකාවට පැමිණ නඩු විභාග කෙරෙන අයුරු අධ්‍යයනය කළ බව පැවසූ ආනන්දසංගරී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර පරිමාණයේ අපරාධ විභාග කිරීමට තරම් රටේ නීතිය ශක්තිමත් නොමැති බව තම වැටහීම යයි අමාත්‍යවරයාට කියා සිටියේය.

නීතිය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් රජය විසින් විවිධ විකල්ප අධ්‍යයනය කරමින් සිටින බව මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී සභාව හමුවේ දන්වා සිටියේය.

බොරු කියන බවට චෝදනා :

කෙසේ වෙතත්, දෙපැත්තේම අන්තවාදීන් නිසා ඉදිරියට යාම අභියෝගයක් වී තිබෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පැවසුවේ යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා රජයට තවත් කල් අවශ්‍ය බවයි.

DSC 0581“සිංහල අන්තවාදීන් මට ද්‍රෝහියෙක් කියනවා. දෙමළ අන්තවාදීන් දෙමළ මධ්‍යස්ථවාදීන්ට ද්‍රෝහීන් කියනවා. අන්තිමට අපි හැමෝම එකම ද්‍රෝහීන්ගේ මල්ලේ,” යි ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

සභාවේ කටයුතු නිමවා පිටව යන අමාත්‍ය සමරවීර මහතා ජගත් දෙමළ මුළුවේ (GTF) නායක එස් ජේ එමානුවෙල් පියතුමා සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී පාරජාතික දෙමල ඊළම් ආණ්ඩුවේ (TGTE) නියෝජිත මනිවන්නන් පද්මනාභන් පැමිණ ඇමැතිවරයා ජාත්‍යන්තරය හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන බවට චෝදනා කරනු දක්නා ලදී.

ජිනීවා නුවරදී ජගත් මානව හිමිකම් මණ්ඩල ප්‍රධානී සෙයිඩ් රාඩ් අල් හුසේන් හමුවී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද විදේශ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුනි.

(radiogagana)


සබැඳි පුවත් :

මංගලගේ ජිනීවා කතාවට ආණ්ඩුවෙන්ම පරස්පරයක්

'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top