15976 BM WEB BANNER 01
Oct 31, 2016

යාපනයේ බියක් : 'ආවා' දෙදෙනෙක් අල්ලයි

උතුරු පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන ''ආවා ගෲප්'' සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව යාපනය පොලිසිය පවසයි.

සැකකරුවන් ළඟ තිබී කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බව යාපනය පොලිසියේ නිලධාරියෙක් 'බීබීසී සිංහල' සේවයට කියා සිටියේය.

යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී කඩු දෙක සොයා ගත් බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නාට්‍යයක් පුහුණු වීම පිණිස කඩු දෙක රැගෙන යන බව ප්‍රශ්න කිරීම්දී සැකකරුවන් කියා සිටි බව පවසන පොලිසිය එම කඩු නාට්‍යය සඳහා භාවිත කරන ''සෙල්ලම් කඩු'' නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ ප්‍රමාණයෙන් විශාල ඒවා බව කියා සිටියේය.

පසුගිය සතියේදී යාපනයේ ස්ථාන කීපයකින් හමුවූ කඩු සහ මෙම කඩු දෙක අතර බොහෝ සෙයින් සමාන බවක් දක්නට ලැබෙන බවත් පොලිසිය පවසයි.


උතුරේ කල්ලි ගණනාවක් !

CVK Sivagnanam 600px 16 10 31 
ශිවඥාණම් මහතා

සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් පළ වන වාර්තා හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් එල්ල වී ඇත්දැයි උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ ශිවඥාණම් මහතා ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ''ආවා ගෲප්'' පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම ක්‍රියාත්මක වී සිටින බැවින් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටින බවයි.

මංකොල්ලකෑම්, බියවැද්දීම්, තර්ජනය කිරීම් හා විවිධාකාරයේ බලපෑම් මෙම කල්ලි විසින් සිදු කරනු ලබන බවද සභාපතිවරයා කියා සිටියේය.

සාමාන්‍ය ජනතාව විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි පොලිසිය විසින් විභාග කරනු ලබන නමුත් සැකකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවද ඔහු පැවසීය.

මහජන සහාය ප්‍රමාණවත් නොවන නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිසිය තමා සමග කියා සිටි බවත් සභාපතිවරයා සඳහන් කළේය.

බලයක් ඇති පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිනම් තර්ජන පවතින යාපනයේ අහිංසක වැසියන් සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම කෙතරම් දුරට ප්‍රායෝගික දැයි උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ප්‍රශ්න කරයි.

තරුණ නැගිටීම බොරු කතාවක්


මේ අතර, පසුගිය දිනවල උතුරු පළාතේ වූ මැර ක්‍රියා, යළි උතුරේ සන්නද්ධ තරුණ නැගිටීමක් සමඟ සම්බන්ධ කර ගනිමින් පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

‘ආවා ගෲප්’ නමින් පොදුවේ හඳුන්වනු ලබන කුඩා මැර කල්ලි කිහිපයක් විසින් මැර ක්‍රියා කිහිපයක් පසුගිය කාලයෙහි සිදු කර තිබිණි.

මෙයට ආවා ගෲප් නම යෙදුණේ 2014 වසරේ දී පොලිස් අත්අඩංගුවට පත් වූ මෙවැනි කල්ලියක නායකයා ‘ආවා’ නමින් හැඳින්වීම හේතුවෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top