Mar 04, 2017

'සමයං කල්ලිය - ආවා කල්ලිය රටේ බලය අල්ලා වී' - චම්පික

පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුනහොත්,  සමයං කල්ලිය ආවා කල්ලිය වැනි කල්ලි රටේ පාලනය අතට ගනී යෑයි මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවා සිටියි.

ඇමතිවරයා මෙම කාරණය අවධාරණය කලේ ජාතික හෙළ උරුමයේ සිටී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පළාත් සභාවලට සීමිත පොලිස් බලතල දිය යුතු බවට පසුගියදා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

රුපියල් මිලියන 25 ක විදයමින් කුඩමාදුව මාර්ගය කාපට්‌ අතුරා ප්‍රතිසංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට ඊයේ (03 දා) සහභාගී වූ අවස්‌ථාවේදී ඇමතිවරයා මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ග කරුණු දැක්වීමක් සිදුකළේය.

ව්‍යවස්‌ථා සංශෝධනයේදී තමන්ට ලැබෙන සල්ලි අනුව නොව රට වෙනුවෙන් කතා කළ යුතු බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය. 


ඇමතිවරයා මෙසේද පැවසිය.

13 වෙනි සංශෝධනයේ තිබෙන දෙයක්‌:

''පොලිසියේ බලතල පළාත් සභාවට ලබාදිය යුතු බවට සමහරු යෝජනා කරනවා. එය ඉන්දියාවේ අනුග්‍රහයෙන් ගෙන ආ 13 වෙනි සංශෝධනයේ තිබෙන දෙයක්‌.

මොකද අද ඉන්දියාවේ වෙලා තිබෙන්නේ, ප්‍රාන්ත 14 ක ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වෙනවා. එම ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට තිබෙන ප්‍රධාන බාධාව තමයි පොලිසියේ බලතල අදාළ ප්‍රාන්තවලට ලබාදීම.

 මේ නිසා එම රටේ නීතිය හා සාමය වල් වැදෙන තත්ත්වයක්‌ උද්ගත වී තිබෙනවා.

පොලිසියට පොලිස්‌ කොමිසම හදලා ඒ බලතල පොලිසියට ලබාදුන්නේ ශක්‌තිමත්ව එම ක්‍රියාකාරිත්වය කරන්න.

පළාත් පොලිසි ඇතිකිරීමට ගියහොත් සමයංලා වගේ අය දහස්‌ ගණනක්‌, ඒ වගේ යාපනේ ක්‍රියාත්මක ආවා කල්ලිය වගේ දහස්‌ ගණනක්‌ බිහිවන එක වැලැක්‌විය නොහැකියි.

විසි කරන මුදල්ට අනුව කතා :

මේ රට කැරළි ගණනාවකට මුහුණ දුන් රටක්‌, නාඳුනන තුවක්‌කු කරුවෝ රටේ ජනගහනයෙන් 2% - 3% ක්‌ ඝාතනය කළ රටක්‌, මහපාරේ බෝම්බ පුපුරලා දහස්‌ ගණනක්‌ ඝාතනය වූ රටක්‌, රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආයෝජන ලබන කල්ලි කණ්‌ඩායම් කී පමණින් ඒ අයගේ ඒජන්තයෝ හඬ නැගූ පමණින් මේ රටේ පොලිස්‌ බලය ඒ අයුරින් බෙදාහැරීමේ හැකියාවක්‌ ප්‍රායෝගිකව අපට නැහැ.

එසේනම් අප කළ යුත්තේ දෙමළ භාෂාව කතා කරන ඒ අයගේ සංස්‌කෘතිය හඳුනාගත් පිරිසක්‌ පොලිසිවලට වැඩි වැඩියෙන් බඳවා ගැනීමයි.

මෙම රජය පැමිණීමෙන් අනතුරුව දෙමළ භාෂාව කතා කරන විශාල සංඛ්‍යාවක්‌ පොලිස්‌ නිලධාරීන් ලෙස බඳවාගෙන තිබෙනවා.

ජාතික පොලිසියේ දෙමළ බස කතා කරන පිරිස ශක්‌තිමත් කිරීම මිසක්‌ දෙමළ පොලිසි සෑදීම කිසිසේත්ම මෙම ප්‍රශ්නයට පිළියමක්‌ නොව ප්‍රශ්නය උග්‍රකරවීමක්‌ පමණයි.

එම නිසා මෙරට ව්‍යවස්‌ථාව සංශෝධන ගැන සාකච්ඡා කරන විට අහස්‌ මාලිගාවල නොඉඳ තමන්ට විසි කරන මුදල්වලට අනුව කතා නොකර මහජනතාවගේ අවශ්‍ය නිදහස සාමය ගැන අප කතා කළ යුතුයි.


පාතාල ලෝකය වීරාභිවන්දනයට :

එහිදී ආමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.


පාතාල ලෝකයට වීරාභිවන්දනය නංවන්න සමහරු උත්සාහ කරනවා. ඒ වෙනුවට සාමකාමී ජනතාවගේ ජීවන ප්‍රාර්ථනා වෙනුවෙන් පාතාල ලෝකය අපි මර්දනය කළ යුතුයි.

කඩුවෙල ගල් ප්‍රශ්න නිසා 100 කට වැඩි පිරිසක්‌ පාතාල ලෝකයෙන් ඝාතනය වෙලා තිබෙනවා.

මීරිගම පස්‌ ප්‍රශ්න, ඒ වෙනුවෙන් 48 දෙනෙක්‌ ඝාතනය කර තිබෙනවා. එදා තිබුණේ මත්කුඩු වලින් බිහි වූ පාතාලයක්‌ වුවත් අද වන විට එය පස්‌, කළුගල්, වැලි දක්‌වා ගිය පාතාල ලෝකයක්‌ බිහි වී තිබෙනවා.

ආවා කල්ලිය:

උතුරේත් ත්‍රස්‌තවාදය පරාජය කළාට ආවා කල්ලිය ආදී වශයෙන් පාතාල කල්ලි ගණනාවක්‌ බිහි වී තියනවා.

 පසුගියදා මඩකලපුවේ බස්‌ රථයකදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ දෙදෙනෙක්‌ ටී 56 ගිනි අවිත් සමග අහුවෙලා තිබෙනවා.

මේ සියල්ල මගින් පෙනී යන්නේ රටේ සාමය හා නීතිය ආරක්‌ෂාව පිළිබඳව ප්‍රශ්න කරන කාලයක්‌ මේ සමාජයේ සෑම තැනකින්ම නැවත මතුවෙලා තිබෙනවා

 සාමකාමී පුරවැසියන් හැටියට අපට තිබෙන ජීවත්වීමේ අයිතිය අප බලාපොරොත්තු වෙන අතර තුවක්‌කු අරගෙන පාරේ යන වාහනවලට වෙඩි තියන සම්ප්‍රදාය නැති කරලා දාන්න අවශ්‍යයි. ''

ඒවාට යම්කිසි දේශපාලන ශක්‌තියක්‌ තිබෙනවා නම් එවැනි පුද්ගලයන් පාරාජය කරන්න මේ සමාජය ශක්‌තිමත් විය යුතු බවත් අධිකරණයයි, පොලිසියයි, සමාජයයි කියන මේ මුල්ගල් තුනම රටේ නීතිය හා සාමය ආරක්‌ෂා කිරීමට අවශ්‍යවන බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


සබැඳි පුවත්

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top