nsb

Mar 04, 2017

යුධ අපරාධ චෝදනා ලැබුවන් පිටරට ගියොත් මාට්ටු ! Featured

ආරක්ෂක හමුදා සාමාජිකයන් ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අභිලාෂයක් ශ්‍රී ලංකාවේ රජයට නැතැයි පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, රටේ යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන වලට වගකිවයුත්තන් හැකි සෑම තැනකදීම නීතියේ රැහැනට හසු කරගන්නා මෙන් සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය මන්දගාමී බවට නොසතුට පල කරන ජගත් මානව හිමිකම් ප්‍රධානියා,  යුද සමයේ දී සියලුම පාර්ශව වලින් සිදුවූ අපරාධ වලට දඬුවම් කිරීමට පැහැදිලි කාලරාමුවක් නියම කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේ සිට 2017 ජනවාරි දක්වා කාලය තුලදී  අත් කරගෙන ඇති ප්‍රගතිය විමසන අලුත්ම වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.

“වධහිංසාව, බලහත්කාර අතුරුදහන් කිරීම, යුද අපරාධ සහ මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලබන්නවුන් සම්බන්ධයෙන් හැකි සෑම තැනකදීම, විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේ, විමර්ශන පවත්වා නඩු පවරන,” ලෙස මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සාමාජික රටවලින් ඉල්ලා සිටී.


ලිංගික දුෂණ හා වධහිංසා :


රජයේ ආරක්ෂක සේනා සහ පොලිස් භටයන් තවමත් ලිංගික දුෂණයේ සහ වධහිංසා කිරීමේ නිරතව සිටින බව පවසන මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන්ගේ වාර්තාව ඒ සියලු අපරාධ නොපමාව විභාග කොට අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව සම්මත වූ 2015 ඔක්තෝබරයේ සිට ගතවූ පහළොස් මාසය තුල අපරාධකරුවන්ට දඬුවම් කිරීමට සමත් නීතිරීති සම්පාදනය කොට හමාර විය යුතුව තිබුණු බව ඔහු රජයට පෙන්වා දී තිබේ.

සුදු වෑන් පැහැරගැනීම් සහ ලිංගික දුෂණය ඇතුළු වධහිංසා පිළිබඳව මානව හිමිකම් සංවිධානයක් විසින් මහ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති විශ්වසනීය තොරතුරු රජය වෙත මේ වනවිටත් දැනුම් දී ඇති බව පිටු 18 කින් යුත් වාර්තාවේ සඳහන් වෙයි.

චෝදනා ලබන ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර එක්සත් ජාතීන් අත පත් කරමින්  ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පසුගිය මාසයේ ඉල්ලා තිබුනේ එම තොරතුරු ශ්‍රී ලංකාවේ රජයට භාරදී චූදිත හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නට ඉල්ලා සිටින ලෙසයි.

අපරාධකරුවන් දඬුවම් නොලබා ගැලවී යාමට ඉඩ සලසන සංස්කෘතියක් පවත්වාගෙන යාම තත්වය බැරෑරුම් කර ඇති බවට මහකොමසාරිස් වරයා අවධාරණය කර තිබේ.


සාම සාධක හමුදා :


මානව හිමිකම් උල්ලංඝන හා සම්බන්ධ හමුදා සහ රජයේ නිලධාරීන් සේවයෙන් පහකිරීමටත්, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයට යන සියලු දෙනා සම්බන්ධයෙන් පුර්ව සෝදිසියක් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින  වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශේෂ නිර්දේශයක් කරමින් කියා ඇත්තේ සාමසාධනය, හමුදා හුවමාරු සහ පුහුණු වැඩසටහන් සඳහා යොදාගන්නා ශ්‍රී ලංකාවේ හමුදා සහ පොලිස් භටයන් දැඩි සෝදිසියට ලක් කරන ලෙසයි.

හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳී සිටි ශ්‍රී ලංකා යුද සෙබළුන් 114 දෙනකු  දැරිවියන් ඇතුළු කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ කිරීමේ චෝදනා වලට 2007 නොවැම්බරයේදී ආපසු හරවා යවන ලදී.

ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් පමුණුවන ලෙසත්, අනාගත සාම සාධක මෙහෙයුම් සඳහා යැවීමට පෙර අණ දෙන නිලධාරීන් ඇතුළු භට සේනා පූර්ව සෝදිසියකට ලක් කරන ලෙසත් එක්සත් ජාතීන් විසින් මීට ඉහතදී කර ඇති නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවට මහකොමසාරිස් වරයා සෑහීමකට පත්වී නැත.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම :


එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශිකා රවීනා ෂම්දසානි කියා සිටියේ දීපව්‍යාප්තව වධහිංසනය සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද තහවුරු කර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ තවමත් සිදු කෙරෙමින් පවතින බරපතල මානව හිමිකම් උල්ලංඝන ගණනාවක්ද සිදුවන බව වාර්තාවේ අවධාරණය කර තිබේ. මානව හිමිකම් ක්‍රියාධරයන් සහ උල්ලංඝන වලින් පීඩාවට පත්වූවන්ට අඩන්තේට්ටම් කිරීම් හා සෝදිසි කිරීම්ද ඊට ඇතුලත් වේ,” යයි ඇය කියා සිටියාය.

අතීතයේ සිදුවූ ආකාරයේ අපරාධ නැවත සිදු නොවන වාතාවරණයක් රටේ ඇතැයි සහතික කෙරෙන වැඩ පිළිවෙලක් තහවුරු වන තුරු ශ්‍රී ලංකාවේ වධබන්ධන වලින් පලා විත් දිවි ගලවා ගත් දෙමළ ජනතාව ආපසු නොයවන ලෙසද මහකොමසාරිස් වරයා සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අංග සම්පූර්ණ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට ආරාධනය කරන ලෙසත් සෙයිද් රාද් අල් හුසේන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.


දෙමුහුන් අධිකරණය හා දේශපාලනය :


යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් ඇතුලත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාව ජගත් මානව හිමිකම් ප්‍රධානියා නැවතත් අවධාරණය කර තිබේ.

එම ඉල්ලීමම ප්‍රතිරාවය කරන සංහිඳියා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ (CTF) වාර්තාව සම්බන්ධයෙන් ප්‍රසාදය පලකළ ඔහු රජයෙන් ඉල්ලා සිටියේ එය පිළිගන්නා ලෙසයි.

රජය මේ වන විට කියා ඇත්තේ සංහිඳියා වාර්තාව ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නැති බවයි.

මානව හිමිකම් ප්‍රධානියා සිය වාර්තාව පල කළ දිනයේම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේ පැවති ජාතික නීති සතියේ සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයා කොළඹදී කියා සිටියේ දෙමුහුන් අධිකරණයක් ස්ථාපනය කළ නොහැකි බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට හැකිවේද, එසේ නොමැතිනම් ව්‍යවස්ථා සංශෝධනයකට යාමට සිදුවේද ආදිය මතුවන ගැටළු ලෙස සඳහන් කරමින් වෙනත් විකල්පයක් සොයාගැනීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පල කරන ලදී.


මංගලගේ ස්ථාවරය :

කෙසේ වෙතත්, ජිනීවා නුවරදී විදේශ අමාත්‍යවරයා විදේශ විනිශ්චයකාරවරුන් දායක කරගැනීමේ ඉඩකඩ බැහැර කළේ නැත.

සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් පැහැදිලි මතයක් නොදරන රජය ප්‍රසිද්ධියේ පලකරන අදහස් “වරෙක අපැහැදිලි සහ බොහෝවිට පරස්පර” බවට දෝෂ දර්ශනයට ලක් කරන මහකොමසාරිස් වාර්තාව ආණ්ඩුවේ දේශපාලන බෙදීම් ඊට හේතුව කොට දක්වයි.

ඒ නිසා “පැහැදිලි සන්නිවේදන ව්‍යාපෘතියක්” වහාම දියත් කොට සංහිඳියා වැඩපිළිවෙලේ අරමුණු සහ කාල රාමුව මහජනතාවට දැනුම් දෙන ලෙස එක්සත් ජාතීන් රජයෙන් ඉල්ලා සිටී.

හමුදාව වාඩිලාගෙන සිටින ඉඩම් ප්‍රමාණය පිළිබඳව තවමත් ජනතාව දැනුවත් කර නැති බව පෙන්වා දෙන වාර්තාව පීඩිතයන් ගේ ආරක්ෂාව, හමුදාකරණය, ඉඩම් අත්පත් කරගැනීම සහ ආරක්ෂක අනපනත් සම්බන්ධයෙන් ඇති දුක් ගැනවිලි විසඳන තුරු රජයට ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවට අනතුරු අඟවා සිටී.


ව්‍යවස්ථා සංශෝධනය :


සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය මෙන් නොව ව්‍යවස්ථා සංශෝධන කාර්යාවලිය කැපී පෙනෙන ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බවට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදයට ලක් වී තිබේ.

කෙසේවෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම පිණිසත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් ආරක්ෂාව සඳහාත් ව්‍යවස්ථාවට අනිවාර්යයෙන් ඇතුලත් කළ යුතු අංග ගණනාවක් තිබෙන බව ජගත් මානව හිමිකම් ප්‍රධානියා සිහිපත් කර දෙයි.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තීරණාත්මක අවස්ථාව මගහැර යා නොහැක. යළි නොඑනා ලෙසට අතීතයේ භයංකාර බවට එරෙහිව දැඩි පියවර ගැනීම සහතික කරනු පිණිස යුක්තිය හා එක්ව යන සංහිඳියාවට ප්‍රමුඛස්ථානය දෙන ලෙස,” මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වර සෙයිඩ් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධ සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහ ජනතාවට ආයාචනා කර සිටී.

(radiogagana)

සබැඳි පුවත්


'හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න' - එක්සත් ජාතීන් යළි අවධාරණය කරයි


ජනපති පිට කොන්ද නැතැයි කියන්නේ කාටද ?

පිටරට නඩුකාරයන් “එන්නත් පුළුවන්” - මංගල කියයි (වීඩියෝ)

මංගලගේ ජිනීවා කතාවට ආණ්ඩුවෙන්ම පරස්පරයක්

'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ

'ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා' - මංගල (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top