Mar 04, 2017

අගමැතිගෙන් වෑගපිටියට බාල්දියක් ! Featured

කෝටිපති ව්‍යාපාරික ඩබ්. එච්. කේ. වෑගපිටිය විසින් එදිරිසිංහ සමූහ ව්‍යාපාරය සතු EAP මාධ්‍ය ජාලය ඇතුළත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI ) ආයතන සමූහය මිලදී ගැනීමේ උත්සාහය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම හේතුවෙන් වැළකී ගොස් ඇතැයි වාර්තා වේ.

සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා මෙම මැදිහත් වීම සිදුකොට ඇත්තේ වෑගපිටිය මහතා විසින් තම මුදල් සතයක්වත් වියදම් නොකර අදාළ ව්‍යාපාරය මිලදී ගැනීමට සූදානම් වන බවත් ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුගේ (Monitoring) සහාය ලැබෙමින් ඇති බවටත් ලැබුණු පැමිණිල්ලකට අනුවය.

සිරිකොත ආරංචි මාර්ග අපට වාර්තා කළ ආකාරයට වෑගපිටිය මහතා එදිරිසිංහ සමූහ ව්‍යාපාරය සතු EAP මාධ්‍ය ජාලය ඇතුළත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතන සමූහය මිලදී ගැනීමට ප්‍රයත්න දරා ඇත්තේ රුපියල් බිලියන 15 ක ලෙස ගණනය කර ඇති ETI ව්‍යාපාරය පෙන්වා මෙරට රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 5 ක් ණයක් ගෙන එය ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දී පසුව තවත් රුපියල් බිලියන 5 ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ණයක් ලෙස ලබා ගනිමින්ය. ඒ අනුව බිලියන 10ක් මහ බැංකුවට ගෙවා ඇති බව දක්වා ETI හි තක්සේරු වටිනාකම වෙනුවෙන් හිඟ රුපියල් බිලියන 5 වසර දෙකක් තුළ දී ගෙවන පදනමින් අදාළ සමාගම පවරා ගැනීමට වෑගපිටිය මහතාගේ අපේක්ෂාව වී ඇත.

ජනපතිගේ ආශිර්වාදයෙන් :

එසේම අදාළ කටයුත්තට වෑගපිටිය මහතා අවතීර්ණ වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව බවටත් මහ බැංකුවේ නිලධාරීන් ඊට සහාය දීමට එකඟ වී ඇත්තේ එනිසා බවටත් අග්‍රාමාත්‍යවරයා වෙත ලැබුණු පැමිණිලිවල සඳහන් වූ බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ලැබුණු පැමිණිලි මත අග්‍රාමාත්‍යවරයා අදාළ මහ බැංකු නිලධාරීන් කැඳවා කරුණු විමසා ඇති අතර එහි දී කිසිදු අයුරකින් වෑගපිටිය වෙත අදාළ සමාගම ලබා නොදෙන ලෙසත් කිසිදු විනිවිදභාවයකින් තොරව එවැනි ගනුදෙනුවක් සිදු වුවහොත් ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

විකිණීමේ අවශ්‍යතාවයක් නැහැ :

jeewaka E

කෙසේ වුවත් අප මේ පිළිබඳව රජයට කොටස් හිමි ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන වෑගපිටිය මහතා වෙතින් විමසූ අවස්ථාවේ ඒ මහතා සඳහන් කර සිටියේ තමන් EAP මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමූහය මිලදී ගැනීමේ උත්සාහය සම්බන්ධව පළ වන කතා සියල්ල දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිම අවස්ථාවක එවැනි ආයෝජනයක් සඳහා යොමු නොවූ බවත්ය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI) ආයතන සමූහයේ අධ්‍යක්ෂවරයකු වන ජිවක එදිරිසිංහ මහතා පැවසුයේ, ස්වර්ණවාහිනිය විකිණීමේ අවශ්‍යතාවයක් මතුව නොමැති බවයි.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top