nsb

Mar 05, 2017

පූජිතගේ උසස්වීම් ලැයිස්තුව සාගලගේ කුණු කූඩේ Featured

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සකසා තිබූ දේශපාලන පළිගැනීමට ලක් වූවන්ගේ ව්‍යාජ ලැයිස්තුවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අහෝසි කර සත්‍ය වාර්තාවක් යළි ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පසුගිය රජය සමයේ දී දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලෙන දේශපාලන කමිටුවේ දී මෙම තීරණය දැනුම් දී ඇත.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව පසුගියදා රැස් වූ අතර සාගල රත්නායක, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනා ද එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනකු ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

පොලිස් මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු විසින් සකසා ඇති දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන්ගේ වාර්තාවේ නම් සඳහන් බොහෝ පුද්ගලයන් වාර්තාව සැකසූ නිලධාරීන්ගේම හිතවතුන් බව කමිටුවේ දී අනාවරණය වී ඇත.

කැබිනට් අනුමැතිය :

රාජපක්ෂ පාලන සමයේ දී දේශපාලන පළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් 323කට උසස්වීම් හා වන්දි ලබා දිය යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් පිළිබඳව වාර්තා කැඳවා ඇත්තේ පුවත්පත්වල දැන්වීම් ප්‍රසිද්ධ කිරීම මඟිනි.

අදාළ කැඳවීමට අනුව පොලිස් නිලධාරීන් 323 දෙනකු අයදුම්කර ඇතත් එම ලැයිස්තුව උසස් පොලිස් නිලධාරීන් විසින් වෙනස් කර තම හිතවතුන් එයට ඇතුළත් කිරීමට පියවර ගැනීම නිසා පොලිස් නිලධාරීන් රැසකට දැඩි අසාධාරණයක් සිදුව ඇත.

මේ නිසා ඉකුත් ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ ලැයිස්තුවෙන් තමන්ගේ නම ඉවත් කර ඇතැයි චෝදනා කරමින් අභියාචනාධිකරණයේ මේ වන විට නඩු 4ක් පවරා ඇත.

(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top