15976 BM WEB BANNER 01
Mar 05, 2017

යාපනයට ගිය මෛත්‍රීට විරෝධයක්

යාපනයේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට ඊයේ විරෝධතාකරුවන් පිරිසක ගෙන් බාධා එල්ලවිය.

‘‘ජනපතිට කියන්න’’ වැඩසටහනේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති ඇතුළු පිරිස රථ පෙළකින් එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී මහමග හරස් කරමින් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර ඉන් ජනාධිපතිවරයාගේ ගමනටද බාධා සිදු විය.

පොලීසිය මැදිහත් වී විරෝධතාකරුවන් ඔසවා ඉවත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස උත්සව භූමිය වෙත ගමන් කළහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගනිද්දී උතුරේ ජනතාවගෙන් සියයට 80 ක් ඔහු වෙනුවෙන් ඡන්දය භාවිතා කර තිබිණ.

මෙය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු ඔහුට යාපනයේ ජනතාව පළමුවරට දැක්වූ බලවත් විරෝධතාවයයි.

විරෝධතාවලට බාධාවක් නැහැ :

රටේ විවිධ ස්ථානවල සිදු කෙරෙන විරෝධතා සහ පෙලපාලී සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, තමන් බලයට පත්වීමෙන් පසුව මෙවැනි විරෝධතා දැක්වීමට අවශ්‍ය තරම් නිදහස ඇති බව කියා සිටියේය.

"විරෝධතා, සත්‍යග්‍රහ, පෙළපාලි කරන්න දැන් ඕන තරම් අවස්ථාවන් තියෙනවා. හැබැයි, හැම දේකටම ඒක කරන්න ගියාම ඒවාවල අගයත් නැති වෙනවා. ඔය හැම දෙයක්ම කරන්නේ මගේ ධූර කාලයේ තමයි. ඉස්සර ඒවා කලොත් ඉතින් සුදුපාට වෑන් එකක් හොයාගෙන එනවා." යයි එහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මසකට වරක් උතුරට :

උතුරු පළාතේ සංවර්ධනයට නව සැලැස්මක් ඉදිරිපත් කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තමන්ම ඒ පිළිබඳ සොයා බැලීමට තීරණය කළ බව කීය.

සෑම අමාත්‍යවරයෙකුම යාපනයට පැමිණ තම අමාත්‍යංශයට අයත් කටයුතු නිම කොට ඒ පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ මෙන් දැනුම් දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කවර අන්දමකින් හෝ මේ රටේ යළි යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් උතුරේ ජනතාව සමග සුහදව රටේ සියළු දෙනාට විසිය හැකි පරිසරයක් උදාකරණ බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

යුද්ධය හමාර වී වසර අටක් ගත වී ඇතත් ජනතාව සිත් වලින් එකමුතු වී නැති බවත් ජනතාවගේ සිත් එකමුතු කිරීම සදහා සියළුම දෙනා පක්ෂ ජාති හා ආගම් භේදයකින් තොරව එක්විය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යාපනයේ ජනතාව අමතමින් වැඩිදුරටත් පැවසීය.

(සේයාරූ - ලංකා ඊ නිව්ස්)

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top