nsb

Mar 05, 2017

හම්බන්තොට වරාය : තීරණාත්මක කැබිනට් රැස්වීමක් ! Featured

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රීකාවක් ලබන 14 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරමින් එම කැබිනට් පත්‍රීකාව කෙටුම්පත් කර ඇත්තේ ආචාර්ය සරත් අමුණුගම හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් දෙදෙනාගේ මුලිකත්වයෙනි.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජනාධිපතිවරයා ඉන්දුනීසියානු සංචාරය නිම කර පැමිණි වහාම එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

හම්බන්තොට වරායේ කොටස්වලින් සියයට අසූවක් චයිනා මර්චන්ට් සමාගමටත් ඉතිරි සියයට විස්ස වරාය අධිකාරියටත් පැවරීමටයි දැනට යෝජනා වී ඇතැයි පැවසේ.

චයිනා මර්චන්ට් සමාගමට සියයට 80ක කොටසක් පැවරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1100 ක මුදලක් ලැබෙනු ඇතැයි ගණන් බලා ඇත.

අර්ජුන යළි විරෝධය පායි :

මේ අතර, පවතින වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කළ නොහැකි යයි වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඇමැති සරත් අමුණුගම මහතා ඇතුළු ඇමැතිවරු පස් දෙනෙකුට ලිඛිතව දන්වා ඇත.

ගිය 24 වැනිදා හම්බන්තොට වරාය සම්බන්ද ගිවිසුමේ අවසන් කෙටුම්පත වරාය ඇමැතිවරයාට බාරදී ඇති අතර ඉන් පසු ඇමැති අර්ජුන විසින් මෙම ලිපිය යවා තිබේ.

උදාල ලිපියේ පිටපත් මලික් සමරවික්‍රම, රවී කරුණානායක සාගල රත්නායක හා කබීර් හෂීම් යන ඇමැතිවරුන්ටත් එම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට හා ජනාධිපති ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම් වෙතද යොමු කර ඇත.

ඇමති රණතුංග පෙන්වා දෙන්නේ අවුරුදු 99 ක සහන කාලය අඩු විය යුතු අතර ව්‍යාපෘති කාල සීමාව අවසානයේදී නිශ්චල දේපල කිසිදු ගෙවීමකින් තොරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැවත බාර දිය යුතු බවයි.

හම්බන්තොට වරායේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් ලෙසට ඉ`ගි කෙරෙන වාක්‍ය ගණනාවක් යෝජිත ගිවිසුමේ පවතින අතර එය ඉවත් කළ යුතු බවත් ඇමතිවරයා පවසයි.

කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අර්ජුන රණතුංග ඇමතිවරයා හම්බන්තොට වරාය ගිවිසුමට තවදුරටත් මෙසේ විරෝධය පළකරන්නේ නම්, ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසු සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධානයේදී ඔහුට වරාය ඇමතිකම අහිමිවීමට ඉඩ ඇති බවයි.


සබැඳි පුවත් :

ජනපතිගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක්

හම්බන්තොට ගිවිසුම හරි! - අර්ජුනගෙ ඇමැතිකම අනතුරේ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top