nsb

Oct 31, 2016

'උතුරේ ‘දුෂ්ට ක්‍රියා’ කරන්නේ රජයේම පිරිස්' - බාහු (හඬපටය) Featured

දෙමළ දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන බවට වූ පොරොන්දු වලට හරස්ව යමින් කටයුතු කරන රජයට එරෙහිව උතුරේ ජනතා නැගී සිටීම වැළක්විය නොහැකි බව යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට දායකවූ වාමාංශික නායකයෙක් අනතුරු අඟවා සිටී.

උතුරේ කලබලකාරී තත්වයක් මතුවෙමින් එන බවට රජයේ වගකිවයුත්තන් කරන ප්‍රකාශ වලට පිළිතුරු දෙමින් නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙරලා චෝදනා කළේ සිංහල මර්දන තන්ත්‍රයක් දෙමළ ප්‍රදේශවල මෙහෙයවමින් ‘දුෂ්ට ක්‍රියා’ වල යෙදෙන්නේ ආණ්ඩුවම බවයි.

කලබල ඇති කරන්නේ රජයේම පිරිස් මිස දෙමළ ජනතාව නොවන බව අවධාරණය කළ ආචාර්ය වික්‍රමබාහු මහතා, “ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය, ස්වපාලනය දෙනවා කියමින් ඊට ප්‍රතිවිරුද්ධ දේ කළොත් මිනිස්සු නැගිටිනවා.” යි කොළඹදී මාධ්‍යවේදීන් අමතා පැවසීය.

උතුරින් හමුදාව ඉවත් කිරීම:

උතුරේ හමුදා බලසේනා අඩු කරන බව ප්‍රකාශ කළ ආණ්ඩුවක් ආයුධ සන්නද්ධ පොලිසියක් මහමග රාජකාරියට යෙදවීම අනතුරුදායක බව කියා සිටි ඔහු, යාපනය සරසවියේ විජයරාජා සුලක්ෂන් සහ නඩරාසා ගජන් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වීම එහි පලවිපාකයක් ලෙසින් පෙන්වා දුන්නේය.

‘තුවක්කු පිස්තෝල අරගෙන ඒකේ 47 අරගෙන රාත්‍රියේ සංචාර කරන සිංහල කණ්ඩායමක් සරසවි සිසුන්ට වෙඩි තැබූ බව විස්තර කළ ආචාර්ය වික්‍රමබාහු මහතා, දෙමළ ජන සමාජය තුල ජාතිකවාදී හැඟීම් උත්සන්න වීමට තුඩුදෙන අයුරින් කටයුතු කිරීමේ වගකීම භාරගත යුතු බවට චෝදනා කළේ ආණ්ඩුවේ සහ පොලිසියේ බලධාරීන්ටය.

රජයත් පොලිසියත් ‘මෝඩ රැලක්’

“මෙහෙම වැඩ කළාම ජනතාව තුල තියෙන වෛරය මරාගෙන මැරෙන තත්වයට එනවා. ඒක වලක්වන්න බෑ,” යි අනතුරු ඇඟවූ නසසප නායකයා, රජයත් පොලිසියත් ‘මෝඩ රැලක්’ ලෙස කටයුතු කරන බවට දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම ගැටුම්කාරී තත්වය සමනය කළ හැකි වන්නේ අනාගත ව්‍යවස්ථාවක් තුල දෙමළ ප්‍රදේශවලට බහුතර දෙමළ පොලිසියක් සහතික කරදී නිසියාකාර බලය විමධ්‍යගත කිරීම මගින් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top