nsb

Mar 06, 2017

පළාත් ඡන්දය පෙරට - පුංචි ඡන්දය පස්සට ! Featured

පළාත් පාලන මැතිවරණය කලින් පැවැත්වුවහොත් ඒකාබද්ධ විපක්‍ෂයට වාසිදායක විය හැකි නිසා පළාත් පාලන මැතිවරණයට පෙර සියලුම පළාත් සභාවන්හි මැතිවරණ එකට පැවැත්වීම සඳහා ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය සැලසුම් කරන බව වාර්තා වෙයි.

මේ වන විට නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය අවාසිදායක බව පවසමින් විරෝධය පළකරන පක්‍ෂවල විරෝධය හේතුවක් කරගනිමින් සීමා නිර්ණය වාර්තාව ගැසට් කිරීම කල් දමා ඇත.

මනෝ ගනේෂන්,  පී. දිගම්බරම්, වී.රාධක්‍රිෂ්ණන් යන ඇමතිවරුන් නියෝජනය කරන පක්‍ෂ හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක් නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට විරෝධය පළ කර තිබේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ එම විරෝධතා සැලකිල්ලට ගනිමින් පළාත් පාලන විශේෂ විධිවිධාන පනත යළි සංශෝධනය කිරීම පිළිබඳව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවේදී සාකච්ඡා කරන බවයි.

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවත් මේ වන විට තම කණ්ඩායමේ ඉල්ලීමට අහුම්කන් දී පනත සංශෝධනය ගැන ආණ්ඩුවේ නායකත්වය සලකා බලමින් සිටින බවත්ය.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව රැස්වන දිනයක් නිශ්චිතව දන්වා නැති අතර පනත් නැවත සංශෝධනයක් සාකච්ඡාවකින් පසු කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට මාස කිහිපයක් ගත විය හැකි බව වාර්තාවේ.


වැඩි වාසි අත්කර ගැනීම :


ඒකාබද්ධ විපක්‍ෂය පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කරමින් නව පක්‍ෂයක්ද පිහිටුවාගෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙමින් සිටින පසුබිමක අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා මැතිවරණවලින් වැඩි වාසි අත්කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය කල් දැමිය යුතු බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප ඉහළ ඇමතිවරයෙක් කීය.

විශේෂයෙන් පළාත් පාලන ආයතන මෙන් නොව විසුරුවීමට නියමිත පළාත් සභා දෙකක මහ ඇමතිවරුන් ශ්‍රීලනිප නායකත්වයට සහයෝගය දැක්වීමත් සාමාජිකයන් වැඩි පිරිස නායකත්වයට සමීප විමත් නිසා පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීමට යහපත් බව එම ඇමතිවරයා පැවසීය.


(රාවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top