Mar 06, 2017

සමයං ඝාතනයේ සුලමුල Featured

පාතාල ඝාතන සියල්ල අභිබවා පාතාල නායක සමයං නොහොත් රණාලේ අරුණ දමිත් උදයංග පසුගිය සදුඳා (27) ඝාතනය කිරීම විශේෂ වන්නේ එයට එක්කරගත් සන්නද්ධ පිරිස 10ක් පමණවීමත් එය මෙහෙයවූ ආකාරයේ ඇති සූක්ෂම බවත් නිසාය.
 
Samayanpic1එසේම මෙය ඇඟකිලි‍පොළා යන චිකාගෝ ක්‍රමයේ ඝාතනයක් බව අපරාධ විද්‍යාව පිළිබඳ ප්‍රවීනයෝ කියා සිටිති.
 
අදාළ ඝාතනය සිදු කළ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය සොයාගෙන ඇති කරුණු අනුව ගොඩනැගුණු හෙළිදරව්වක් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
 
සමයං ඝාතනය වන්නේ ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් දෙකක් වන මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගේ කල්ලි දෙක එක්වී මෙහෙයවූ සූක්ෂ්ම සැලසුමක් අනුවය.
 
සමයං ඝාතනය කරන්නට අංගොඩ ලොක්කාගේ කල්ලිය මීට පෙර සැලසුම් කරන්නේ කඩුවෙල අධිකරණය තුළදීමය. 
 
ඒ 2015 සැප්තැම්බර් 23දා සමයං මරණය දැක දැක ජීවිතය බේරාගත්තද ඉකුත් සඳුදා සමයං සොයා මාරයා පැමිණ තිබුණේ අමුතු ආකාරයකටය.
 
පාතාලයට තේරුණ පොලිසියට නොතේරුණ දේ
 
සමයං යළිත් කඩුවෙලදී ඝාතනය කිරීමේ තැතක් ඇතැයි අනුමාන කළ මිරිහාන ‍පොලිස් ඒකක, පෑලියගොඩ ‍පොලිස් ඒකක ඇතුළු ‍පොලිස් කණ්ඩායම් කඩුවෙල අධිකරණ සීමාවේ ආරක්ෂාව තරකර තිබී ඇත.
 
කෙසේවුවද, සමයංගේ ඝාතකයන් ඒ සඳහා වෙනත් සැලැස්මක් යොදා තිබිණි.
 
කඩුවෙලදී සමයං රැක ගන්නට සියලු දෙනාම සැලසුම් කරද්දී ප්‍රහාරකයන් තෝරා ගෙන තිබුණේ කිසිවකුගේ අවධානය යොමු නොවූ ස්ථානයකි.
 
එහෙත් එය පාතාල පිරිස්වලට තේරුණද ආරක්ෂක අංශ එය තේරුම් ගැනීමට අපොහොසත්ව තිබිණි.
 
කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ සිට මීටර් දෙසීයක් පමණ දුරකින් පිහිටි පාළු කඳුගැට සහිත තැනක් ප්‍රහාරයට තෝරා ගත්තේ ප්‍රහාරයේ සැලසුම දක්ෂ යුද පුහුණුවක් ලද අයගේ වීම නිසා බව පොලිසිය සැකකෙරේ. 
 
මාකඳුරේ මධුෂ්ගේ ඇතුළු පාතාල කල්ලිවල යුද්ධයේ මනා අත්දැකීම් ඇති විශේෂ බළකා, කොමාන්ඩෝ වැනි රෙජිමේන්තුවලින් පැන ගිය දක්ෂ ප්‍රහාරකයෝ සිටින බව පැවසේ.
 
කොස්ගොඩ සුජී ළඟ LTTE වෙඩික්කාරයෝ
 
තවද එල්.ටී.ටී.ඊ.  සුවිශේෂ පුහුණුව ලත් රාධා බළකායේ සාමාජිකයන්ද දකුණේ  පාතාලයේ සාමාජිකත්වය දරණ බවට ආරක්ෂක අංශ සැකකරයි.
 
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කොස්ගොඩ සුජීගේ කල්ලියට අයත් කෙනඩි නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා දකුණේ මිනිස් ඝාතනවලට අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ සැකය ඇතිවී තිබේ.
 
කඩුවෙල අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සඳහා සමයං රැගෙන යාමට කළුතර බන්ධනාගාරයේ බස් රථ දෙකක් සූදානම් කෙරෙන බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
එදින උදෑසන ජේලර් විජේරත්න ඇතුළු බන්ධනාගාර නිලධාරීන් එකොළොස් දෙනකු සමඟ බන්ධනාගාර බස් රථයේ, පාතාල නායක සමයං ඇතුළු අපරාධකරුවන් පස්දෙනකු රැගෙන කඩුවෙල බලා ගමන් අරඹා තිබේ. කෙසේවුවද වෙනදාට ඊට ලැබෙන පොලිස් ආරක්ෂාව මෙදින ලැබී නොමැත.
 
බස් රථය කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට එන්නට සැලසුම් කර තිබී ඇත්තේ අධිවේගී මාර්ගය ඔස්සේය. Samayan 2
 
ප්‍රහාරය අධිවේගී මඟට පෙරයි 
 
කෙසේවුවද, අධිවේගී මාර්ගයට පිවිසීමට ප්‍රථම එතනමඩල ප්‍රදේශයේදී ඉදිරිපසින් ගමන් ගනිමින් තිබූ කැබ් රථයක් මග හරස් වීමත් සමඟ නොසිතූ මොහොතක මේ බස් රථයට වෙඩි වරුසාවක් එල්ලවී ඇත.
 
කැබ් රථය නිසා බස්රථවලට වේගය අඩාළ වීමත් සමග දෙපස වූ කඳු ගැට දෙසින් ටී 56 අවි යොදාගෙන එල්ල වූ වෙඩි වරුසාවත් සමග සියල්ල මොහොතකට නැවතුන බව පැවසේ. 
 
ප්‍රහාරකයන් යුද බිමේදී සතුරු වාහනයකට පහර දෙන්නාක් මෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විශේෂඥ මතය වේ. 
 
එක් පසෙකින් වෙඩි ප්‍රහාර එල්ල වන අතරේ අනෙක් පැත්තේ සිටි අවිගත් ප්‍රහාරකයන් බන්ධනාගාර බස්රථය වෙත කඩා වැදී ඇත.
 
‍පොලිස් නිල ඇඳුම් හැඳගත් තුවක්කුකරුවන් තමන්ගේ ඉලක්කය වූ සමයං සොයා බන්ධනාගාර බස් රථය තුළට ක්ෂණයකින් කඩා වැදී තිබේ.
 
බසයට නැග්ග වෛඩික්කරු වෛරය පිරිමැසූ හැටි
 
එසේ කඩා වැදුන අය පොලිස් පරීක්ෂකවරයකු ලෙස නිල ඇඳුම් ඇඳ තුවක්කුක් රැගෙන පැමිණ තිබේ.
 
ඔහු එහි එද්දී පොලිසිය සහායට පැමිණ ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ට සිතුවිල්ලක් පහළවූ බවද දිවි ගලවාගත් බන්ධනාගාර නිලධාරීහු කියති.
 
බස් රථයට කඩා වැදුණු නිල ඇඳුම් ඇඳගත් අවිකරුවන් තම වෛරය පිරිමසමින් පාතාලයේ කිරුළ ගන්නට වෑයම් කළ සමයංගේ මුහුණ රැලි වෙනතුරු වෙඩි තබා මළ සිරුර බස් රථයේ පාපුවරුව දක්වා ඇදගෙන විත් දමා තිබේ.
 
මේ සියල්ලටම ගතව ඇත්තේ විනාඩි කිහිපයකි.
 
දුටුවන් කියන්නේ කොණ්ඩා කොටට කපාගත් අවිකරුවන්ට පතොරම් ගැබ මාරු කර තවත් ගැබක් නිමේෂයකින් යෙදිය හැකි අය බවයි.
 
බන්ධනාගාර අවි 5න් පත්තුවුණෙ එකයි 
 
Samayanpic2මෙම වෙඩි හුවමාරුව සිදුවන මොහොතේ බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂාව සඳහා ටී 56 අවි පහක් තිබුණද එයින් ගිනිඅවි එකක් ඇරෙන්නට අනෙක්වා අතට ගන්නටවත් ප්‍රහාරකයින්ගෙන් ඉඩක් ලබාදී නොමැත.
 
මෙම ප්‍රහාරය එල්ල වත්ම බන්ධනාගාර නියාමක එස්. සන්නිගම් තම තුවක්කුවෙන් පතුරම් ගැබම නිකුත් වන්නට ප්‍රහාරයක් එල්ල කරන්නට උත්සාහ ගත්තද උණ්ඩ පහළොවක් නිකුත් වීමෙන් පසු ඔහුද ‍ලේ විලක් මැද ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත.
 
බන්ධනාගාර ජේලර් විජේරත්නද මෙම ප්‍රහාරයෙන් ජීවිතයෙන් සමු ගත්තේය. 
 
තවත් නියාමකයින් පස්දෙනකු තුවාල ලබා සිටියහ.
 
විනාඩි ගණනක් ඇතුළත ප්‍රහාරකයන් කැබ් රථය අතැර දමා ඩොල්පින් වර්ගයේ වෑන් රථයෙන් පලා ගොස් ඇති බව පැවසේ.
 
අංගොඩ ලොක්කා සමග අතුරුගිරියේ ලඩියා ඇතුළු දහයකට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරයට එක්ව ඇති බවත් ප්‍රහාරයට අනුව ටී 56 අවි හයකට වඩා රැගෙන විත් ඇති බවත් විමර්ශන කණ්ඩායම් තහවුරු කරගෙන තිබේ. 
 
අංගොඩ ලොක්කාගේ කල්ලියේ සහායට මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය සියලු පහසුකම් සපයා ඇති බවටද තොරතුරු ලැබි තිබේ.
 
ප්‍රහාරකයන් සොයා ‍පොලිස් පරීක්ෂණ මෙහෙයවද්දී ප්‍රහාරකයන් පැමිණි වෑන් රථයද මොරගහහේන ප්‍රදේශයේ දමා එම කල්ලිය අතුරුදන්ව තිබිණි.
 
එම වෑන් රථයද කොළඹ මරදාන ප්‍රදේශයේදී පැහැරගත් එකක් බව පසුව හෙළි වී තිබේ. 
 
මෙකී ඝාතකයන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගතවීමේ සූදානමක් ගැනද හෙළිවූයෙන් වහාම කටුනායක හා මත්තල ගුවන් තොටුපළවල ආරක්ෂාවද තර කෙරිණි.
 
ලෙයට ලෙයින් පළිගන්නා පාතාල මෙහෙයුම් අතරේ සමයං ඝාතනය කරන්නට යෙදූ සැලසුම සුවිශේෂී එකක් බව පැවසේ.
 
බන්ධනාගාර බස් රථය අදාළ ඉලක්කගත තැනට එන මොහොත වන විට කැබ් රථයේ වේගය අඩු කර ඉලක්කය පහසු කර දීමත් මාර්ගය දෙපස අවිකරුවන් කෙටි කාලයක් තුළ ඉලක්කය සපුරා පැන ගැනීමත් තරමක විශේෂ බව ආරක්ෂක අංශයේ අදහස වී ඇත.
 
මේ අයුරෙන් අංගොඩ ලොක්කාගේ කල්ලිය තම ජීවිතය පරදුවට තබා ආයුධ සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් සමග සටන් කරන්නට එන්නේත් සමයං තවදුරටත් ජීවත් වුවහොත් තම ජීවිතවල ඉරණම තීරණය වන බව දන්නා නිසාවෙනි.
 

 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top