15976 BM WEB BANNER 01
Mar 06, 2017

අර්ජුන, හම්බන්තොට වරාය ගිවිසුම ප්‍රතික්ෂේප කරයි

ප්‍රදේශවාසීන්ගේත්, වරාය කම්කරුවන්ගේත් බලවත් විරෝධතා මැද හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා සකස් කරන ලද කෙටුම්පත් ගිවිසුමෙන් සමාගමට වැඩි වාසි සැලසෙන හෙයින් තමන් ගිවිසුම අත්සන් නොකරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

කෙටුම්පත් ගිවිසුමේ ප්‍රකාර අදාල සමාගමට වරාය ගාස්තු අයකිරීම පිලිබඳ ඒකාධිකාරිය පැවරීම, ගනුදෙනුව අනුව අත්පත් කරගන්නා ඉඩම්වල වටිනාකම තැකීමක් නොකිරීම, වරායේ සිය කිලෝමීටර 50ක් දක්වා වූ වටපිටාවක සංවර්ධන කටයුතු කිරීම සහ සමාගමට හෝ එහි නියෝජිත සමාගමකට බලය පැවරීම වැනි ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා ගේ අදහසයි.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිය දැඩි විරෝධය පලකරමින් පෞද්ගලීකරණය පිලිබඳ අමාත්‍ය කමිටුවේ ප්‍රධානී විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා වෙත යැවු ලිපියක් මගිනි.

වරාය අමාත්‍යවරයා ගිවිසුමේ තවත් අංශ කිහිපයක් සම්බන්ධයෙන්ද සිය විරෝධය දක්වා තිබේ.

නැවත භාරදීමේ කොන්දෙසි නැහැ :

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර මෙම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව තිබුනි.

ගිවිසුම මඟින් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගම වෙත හම්බන්තොට වරායෙන් 80% ක් කොටසක් පැවරෙන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත 20% අයිතියක් පැවරෙනු ඇත.

මේ හේතුව නිසා වරාය වෙනත් ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය හැකි බවට විෂය භාර අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

එසේම මෙම වරයා නැවත රජයට භාරදීමේ කොන්දෙසිද දක්වා නැති අතර මෙය මීට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් එළඹී ඇති රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර ගිවිසුම් වලට පටහැනි ක්‍රියාවක් බව ඔහු පවසයි.

පනතට එකඟ නෑ:

දැනට පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත වෙනස් නොකොට මෙම ගිවිසුමට එළඹිය නොහැකි බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පෙන්වා දෙයි.

යෝජිත වරාය හිමිකම් ප්‍රතිශතයට ද සිය විරෝධය පලකරන අමාත්‍යවරයා පළමු වසර 20 තුලදී ලාභ උපයන ආයතනයක් බවට පත්විය යුතු බවත් වරායේ අයිතිය 35% ක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු විය යුතු බවත් අවධාරණය කරයි.

එසේම වසර 99ක් වූ බදු සහන කාලය අඩු කළ යුතු බවත් වරයා නැවත රජයට භාර දීමේ දී වරායේ සියලු භෞතික සම්පත් කිසිදු අයකර ගැනීමකින් තොරව ලබා දිය යුතු බවට කොන්දේසියක් ඇතුලත් කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ජාතික සහ කලාපිය ආරක්ෂාව:

“ජාතික සහ කලාපිය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ අනුව වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති රාමුව අනුව සැකසිය යුතුයි,” යයි ඇමැති රණතුංග මහතා පවසයි.

කෙටුම්පත් කර ඇති ගිවිසුමේ වරාය තැනීමට ගිය මුදල් ප්‍රමාණය නොව – රුපියල් බිලියන 1.4ක් ලෙස දක්වා ඇති කොටසද ඉවත් කළ යුතු බවට අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිටියි.

ගිවිසුම මඟින් වරාය ගාස්තු පිලිබඳ තීරණ ගැනීමේ අයිතියද සමාගම සතුවේ.

“මෙම අවස්ථාව සලසා දීමෙන් කොළඹ වරයට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි. ඒවගේම දේශීය ව්‍යාපාර වලටත් ලංකාවේ ආර්ථිකයටත් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. අඩුම තරමේ තමන්ගේ ගාස්තු වෙනස් කරන්න අයිතියක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ට නැහැ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය නැතිව,” යි අමාත්‍යවරයා සඳහන් කරයි.

සේවක රැකියා :

එසේම අදාළ ගිවිසුම මඟින් මාගම්පුර වරායේ සේවකයන්ගේ රැකියා පිළිබඳව සහතිකයක් ලබා දී නොමැති අතර මෙය අනාගතයේ ගැටළු සහගත තත්ත්වයන් උදා කර ලිය හැකි වාතාවරණයක් සලසන බව ඔහු අවධාරණය කරයි.

හම්බන්තොට වරායේ තෙවැනි අදියර සංවර්ධනය පිළිබඳවද ගිවිසුමේ සඳහන් වන අතර එය තවමත් සංකල්පයක් පමණක් වී ඇති නිසා ගිවිසුමට අදියර 1 සහ 2 පමණක් අන්තර්ගත කිරීම සෑහෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මතයයි.

ඒ අනුව තෙවැනි අදියර පිලිබඳ ඇති සටහන් ගිවිසුමෙන් ඉවත් කළ යුතු බව හෙතෙම පවසයි.

එකඟ නොවූ කොන්දේසි එක්කරලා :

ව්‍යපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත් කළ එකඟතා කමිටුවේ විමර්ශන සහ නිර්දේශ නොතකා හැර ඇති බවට චෝදනා කරන අමාත්‍යවරයා එකඟ නොවූ කොන්දේසි ද එක්කර ඇති බවද සඳහන් කරයි.

සමාගමට හෝ සමාගම මගින් නම් කරන පාර්ශවයකට හම්බන්තොට වරායේ සිට කිලෝ මීටර 50 ක් ඇතුලත සංවර්ධන කටයුතු කිරීමට අවසර ලබා දිය හැකි බවට ඇති කොන්දේසිය ඊට උදාහරණ ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේම ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම සහ ලබා දීම රජය මත පැවරෙන වගකීමක් ලෙස ගිවිසුමේ දක්වා තිබේ.

(radiogagana)


සබැඳි පුවත්


හම්බන්තොට වරාය : තීරණාත්මක කැබිනට් රැස්වීමක් !

ජනපතිගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක්

හම්බන්තොට ගිවිසුම හරි! - අර්ජුනගෙ ඇමැතිකම අනතුරේ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top