nsb

Mar 06, 2017

'හිංසන අන්තවාදයට එරෙහිවිය යුතුයි' - විදේශ ඇමති Featured

ත්‍රස්තවාදය මුල්වන හිංසාකාරී අන්තවාදයට විරුද්ධ වීම පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ප්‍රකාශය පිළිගැනීමේදී, ඉන්දියානු සාගර කලාපයේ සාමයට හා සෞභාග්‍යයට තර්ජනයක් විය හැකි ඕනෑම ආගමික, වාර්ගික කණ්ඩායමක්, සංස්කෘතියක් හෝ ජාතියක් සමග සම්බන්ධ ඕනෑම ආකාරයක හිංසන අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා සාමුහික වගකීම ඉන්දියානු සාගර වටද්දර සංගමයේ විදේශ අමාත්‍යවරුන් සතුව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය, මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

ඉන්දුනීසියාවේ ජකාර්තාහි 2017 මාර්තු 06 වන දින, එනම් අද දින (06) පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ 20 වන සංවත්සරයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසිය.

“සාමකාමී ,ස්ථාවර හා සෞභාග්‍යමත් ඉන්දියානු සාගර කලාපයක් සඳහා වූ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ මෙම රැස්වීම පවත්වනු ලදී.

ඉන්දියානු වටද්දර සංගමයේ අනාගත වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවේදී අදහස් දක්වමින්, කැපවීම් සහ අනාගත දිරිගැන්වීම් සඳහා දේශපාලන නායකත්වය ලබාදීම මගින් වැදගත් භූමිකාවක් රඟ දැක්වීමට ඉන්දියානු වටද්දර රටවල සංගමයේ නායකයින්ගේ අඛණ්ඩ සහභාගිත්වය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව මංගල සමරවීර මහතා පෙන්වා දෙනු ලැබිය.

එය වඩාත් සාධනීය අයුරින් විවිධ මට්ටම්වලදී කොටස්කරුවන් සමග සම්බන්ධවීමට ඉන්දියානු වටද්දර සංගමය මහෝපකාරී වන අතර එමගින් සාමාජික රටවල් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සහභාගිත්වය වැඩි වැඩියෙන් දිරිගැන්වීම සඳහා යාන්ත්‍රණයන් සොයා බැලීමට හැකිවෙනු ඇතැයි ඔහු කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා රැස්වීම අතරවාරයේදී ඉන්දියානු සාගර වටද්දර සංගමයේ රටවල්වල සෙසු සාමාජිකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ජනාධිපති ඉන්දුනීසියාවේ :

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව හෙට (07) ආරම්භ වන අතර ඊට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවනවිට ඉන්දුනීසියාවට ගොස් සිටියි.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සුකර්නෝ හත්තා ගුවන් තොටුපලේ දී ජනාධිපතිපතිවරයා ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගත් බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top