Mar 07, 2017

විදුහල්පතිවරුන්ට යළි හමුදා පුහුණුව දීමට විරෝධය Featured

පසුගිය රජය විසින් දියත් කර අත්හිටුවා තිබූ  විදුහල්පති හමුදා පුහුණුව මේ ආණ්ඩුව යටතේත් නැවත ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් එයට දැඩි විරෝධය පළ කර සිටී.

 ‘‘නායකත්ව හා කණ්ඩායම් හැඟීම් වර්ධනය කිරීමේ තෙදින නේවාසික වැඩමුළුව – 2017’’ නමින් පුහුණු වැඩමුළුවක් මාර්තු මස 22 දින සිට 25 දින දක්වා ඌව කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවැත්වීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ඒ සඳහා මාතර සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එල්.එම්.එන්. දමයන්ති මහත්මියගේ අත්සනින්  පෙබරවාරි 27 දිනැති ලිපියකින් කැඳවා ඇති අතර, මාතර කලාපයේ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වය අනිවාර්ය බව ද එහි දක්වා ඇතැයි  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

පාසල් වලට හමුදා විනය පැටවීම :

පාසල්වලින් සිදුවිය යුත්තේ නිදහස් චින්තනයෙන් හෙබි අනාගත පරපුරක් බිහි කිරීම බව පවසන ගුරු සංගම් නායකයා පෙන්වා දෙන්නේ,  හමුදා විනය තුළ සිදුවන්නේ අණට කීකරු වී කටයුතු කිරීමට  හුරු කිරීමක්  බැවින්  විදුහල්පතිවරු හරහා පාසල් පද්ධතියට හමුදා විනය පැටවීම තුළ පාසල් පද්ධතියට නිදහස් චින්තනයෙන් යුත් ක්‍රියාකාරීත්වයන්ට පාසල් දරුවන්ට ඇති ඉඩකඩ ඇහිරී යාම බවයි.

විදුහල්පතිවරු පුහුණුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සතුව  ඕනෑතරම් පුහුණු ආයතන පවතීන බවද සිය නිවේදනය මගින් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි.

 පාසල් පද්ධතියට අවශ්‍ය පරිදි එම පුහුණු ආයතන හෝ රජයේ වෙනත් බාහිර පුහුණු ආයතන ඔස්සේ විදුහල්පතිවරු පුහුණු කිරීමට හැකියාව තිබියදී මෙසේ කොමාන්ඩෝ රෙජිමේන්තු පාසල්වල පුහුණු කිරීම් කිරීමෙන් පැහැදිලි වන්නේ හමුදා විනය පාසල් තුළට කාන්දු කිරීමට පසුගිය රජය මෙන්ම වර්තමාන රජය ද දරණ උත්සාහක් ලෙස ඔහු පවසයි.

පසුගිය ආණ්ඩුවට පෑ විරෝධය

එසේම පසුගිය රජය සමයේ විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදීමට එරෙහිව වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම වර්තමාන රජයේ බලධාරීන් දැඩි විරෝධය පළ කර සිටි අතර, ඔවුන් විසින් ම නැවතත් මෙම කටයුත්ත සිදු කිරීමට හාස්‍යජනක තත්වයක් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

 පසුගිය රජය සමයේ සියලූ පාර්ශවයන්ගේ විරෝධතාවය මධ්‍යයේ පාසල්වල විදුහල්පතිවරුන්ට මෙන්ම “සිසු නායකත්ව පුහුණුව” නමින්  දරුවන්ට ද, විශ්ව විද්‍යාල සිසුන්ට ද හමුදා පුහුණුව ලබාදීමේ අත්තනෝමතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වු ආකාරයද එම නිවේදනය මගින් මතක්  කර දී  තිබේ.

 විදුහල්පතිවරුන් සඳහා පැවැත්වූ පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටියදී රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කඳවුරේදී රද්දොළුගම ජාතික පාසලේ විදුහල්පති ගාමිණී වික්‍රමසිංහ මහතා මියගිය අතර, ඇතිවූ විරෝධතා හමුවේ විදුහල්පතිවරුන්ට මෙම පුහුණුව ලබාදීම නතර කිරීමට පසුගිය රජයට සිදුවු බවද ගුරු සංගම් නායකයා බලධාරීන්ට පෙන්වා දෙයි.

 මෙම තත්වයට දැඩි විරෝධය පළකර  ලංකා ගුරු සංගමය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සිදු කිරීමට නියමිත  විදුහල්පති පුහුණු වැඩමුළුව වහාම අත්හිටුවන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top