15976 BM WEB BANNER 01
Oct 31, 2016

බැඳුම්කර ගනුදෙනුව ගැන CID පරීක්ෂණයක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් සිදුකළ යුතු බව පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

කෙසේවුවද, ''කෝප් වාර්තාවේ නිර්දේශ අතර වංචාවක් සිදුවුණා යැයි වචනයක්වත් නැහැ.. එහි අර්ජුන් මහේන්ද්‍රන් වංචාවට වගකිව යුතුයි කියා සෘජුව සඳහන්ව නැහැ..එහි තිබෙන්නේ හිටපු මහ බැංකුවේ අධ්‍යක්ෂවරයා හා අධ්‍යක්ෂවරු වගකිව යුතුයි කියා'' යයි ද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

ඒ මහතා මේ බව පැවැසූයේ බණ්ඩාරගම දොඹගොඩ දී පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් කතා කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

වරද කලේ යූ.එන්.පී. කාරයෝ නොවෙයි:

''මට ඕනෑ වුණේ මේ වරද කරන පුද්ගලයින්ට දැඩි ක්‍රියාමාර්ග ගන්න. යූ.එන්.පී., ශ්‍රී ලංකා බේදයක් නැහැ. මේ වරද හා සම්බන්ධ කිසි කෙනෙක් යූ.එන්.පී. කාරයෝ නොවෙයි.

පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරු කිසිවෙක් යූ.එන්.පී.කාරයෝ නොවෙයි. වංචා දූෂණ කරන මිනිස්සුන්ට පක්ෂ බේදයක් නැහැ.

මේ කණ්ඩායම රාජපක්ෂගේ කාලයේ අජිත් කබ්රාල් මහ බැංකු අධිපතිවෙලා ඉන්නකොට ඔය වැඩේම කළා සුළු පරිමාණයෙන්.

ඒ කාලේ කබ්රාල් මහතාගේ නංගි පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරියක්.

මේ ආණ්ඩුව ආවාට පස්සේ මහා පරිමාණයෙන් මේ දේ සිද්ධ වුණා. එතකොට තමයි මෙය ප්‍රශ්නයක් කර ගත්තේ.

අර්ජුන් මහේන්ද්‍රන් ඔතැන නැහැ:

අද අර්ජුන් මහේන්ද්‍රන් ඔතැන නැහැ. දැන් මාස ගණනක් වෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිකමෙන් අස්වෙලා. කනගාටුවට කරුණ තමයි ඔය පිරිසම අදත් ඒ වැරදි වැඩයම කරගෙන යෑම.

විවිධ රහස් තියෙනවා කියලා වට කරගෙන රහසිගතව මේ ක්‍රියාදාමය වසර කිහිපයක් තිස්සේ කරගෙන යනවා. ඒ නිසා තමයි මම යෝජනා කළේ මේ කාරණය ගැන අපරාධ පරීක්ෂණයක් සිදුකරන්න ඕනෑ කියලා.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයක් නොවේ. එතැනින් එහාට ගිය රාශියකගේ ප්‍රශ්නයක්. තවත් පුද්ගලයින් රාශියක් වැරදිකරුවන්ට ඉන්න ගැටලුවක්.

කෝප් කමිටුවේ ඩබල් ගේම් :

පර්පචුවේල් සමාගමේ හිටපු හා දැනට සිටින අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ කියලා මම කියන කොට කෝප් කමිටුවේ ඉන්න අපරාධවලට විරුද්ධ යැයි කියන කණ්ඩායමක් කියනවා ඒක නම් කරන්න බැහැ කියලා.

පර්පචුවෙල් සමාගම අයිති මව් සමාගම ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ කියූවිට ඒ අය කියනවා ඒක නම් කරන්න බැහැ කියලා.

මේ මේ අය වැරදියි කියලා, වැරදිකරුවන් කියලා ලියන්න කියන කොට කියනවා, එහෙම ලියන්න බැහැ ‘වගකිව යුත්තෝ’ යැයි ලියමු කියලා.

හොරකමට විරුද්ධ අය එහෙමද? වැඩ කරන්නේ.

කෝප් කමිටුවේ බහුතරයකට සෘජුව හොරා කියලා කියන්න කොන්දක් තිබුණේ නැහැ. වංචා කළ මුදල මෙච්චරයි, ඒ මුදල අහවලාගෙන් අය කරන්න කියලා කියන්න කොන්දක් තිබුණේ නැහැ.

එසේම මේ හොරු ආරක්ෂා කරන්නේ අපිද?''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top