Mar 07, 2017

බැදුම්කර අරක්කු සහ වෙඩි තැබීම අතර සම්බන්ධයක්

පාසිකුඩා බැදුම්කර අරක්කු කොම්පැනිය සහ මඩකලපු ඉඩම් නිලධාරියාට වෙඩි තැබීම අතර සම්බන්ධයක් තිබීය හැකි බවට සාධාරණ සැකයක් මතුවන බව පිවිතුරු හෙල උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ පැවසිය.

''අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම පාසිකුඩා, කුම්බුරුමුලී වෙම්බුලී, කඩකත‍රෛයි වීදි නැතිනම් වෙරළ පාරේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතිනවා.

අපි දැක්කා මේ පලාත්වල ඉදිකිරීමක් ඡායාරූප අරගෙන පටිගත කරගෙන රූපවාහිනී නාලිකා වල වාර්තා කලාම එම පලාතේ ඉඩම් නිලධාරියාට වෙඩි තැබුවා. ඒ නිසා ජීවිත අවදානමක් සහිතව මේ ඡායාරූප අරගෙන ආවේ විශේෂ පණිවිඩයක් කියන්න.

මේ ඉදිවන්නේ අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවයි කියන්නේ.

බලපත්‍රය පවා අහිමි වු සමාගමක් :

අපිට ලැබී තියෙන තොරතුරු වලට අනුව මෙන්ඩිස් සමාගම බදු වංචාකරල තමන්ගේ බලපත්‍රය පවා අහිමි වු සමාගමක්.

එවැනි සමාගමකට සුරාබදු කොමසාරිස්වරයා තවත් අරක්කු කර්මාන්ත ශාලාවක් අරින්න බලපත්‍ර ලබාදීමේ ඉඩක් නෑ.

එහෙම ඉඩ දුන්නත් වෙරලක් අයිනේ කර්මාන්ත ශාලාවක් අරින්න ඉඩක් නෑ.

මොකද පාසිකුඩා ප්‍රදේශය උග්‍ර ජල හිගයක් තියෙන ප්‍රදේශයක්. අරක්කු කියන්නෙත් ජලය දැවැන්ත ලෙස අවශ්‍ය කර්මාන්තයක්.

බැඳුම්කර මුදල් විදේශ ගත කරන්න :

ඒ නිසා අපිට සාධාරන සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියෙන් වංචනිකව උපයාගත් බිලියන ගණනක මුදල් තව දුරටත් ශ්‍රී ලංකාවේ තබාගැනීම අවදානම් නිසා මේ කර්මාන්ත ශාලාවට යන්ත්‍ර සුත්‍ර ගෙන ඒමේ මුවාවෙන් විදේශ ගත කරන්න උත්සහ කරනවාද කියල.

යන්ත්‍ර සුත්‍ර වල සත්‍ය වටිනාකම මිලියන 500 යි නම් ඒ වටිනාකම වෙනුවට බිලියන 5 කට එම යන්ත්‍ර විකුණන සමාගම ඉන්වොයිස් කරනවා. එවිට අදාල සමාගම ඒ මුදල ගෙවනවා.

එතකොට අනික් සමාගම කරන්නේ තමන්ගෙන් මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර වල සත්‍ය වටිනාකම අරගෙන ඉතිරි මුදල විදේශ රටක අර අනිත් සමාගමට අයත් බැංකු ගිණුමකට දානවා.

බැඳුම්කර මගඩියේ කළු සල්ලි:

අපි කියනවා මේකට අධි ඉන්වොයිස් ක්‍රමය හරහා විදේශ විනිමය පිට රටට ගෙන යාම කියලා. මේක සුලභ ක්‍රමයක්.

අපිට සාධාරන සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියේ කළු සල්ලි මෙරට තබාගැනීමේ අවධානම පෙනෙන නිසා විදේශ ගත කිරීමේ උත්සහයක්ද මේ කියලා.

ඒ නිසා ජනපතිතුමනි අශ්වයා පැන ගියාට පසු ඉස්ථාලය වසා වැඩක් නැ. මේ ගැන විමර්ශනය කරන්නට තිබුනේ පසුගිය වසර දෙකේ. දැන් කාලය ගෙව්වා හොදටම ඇති. ''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top