nsb

Mar 07, 2017

රට මෙහෙයවන්නේ කවුදැයි රතන හිමිට ප්‍රශ්නයක් ? Featured

බුද්ධි අංශ නිලධාරින් අයථා ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම මැදිහත් වියයුතු බව ශ්‍රී ලංකා ජාතික සභාව පවසයි.

එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරන්නේ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව තීරණයක් ගැනීමේදී තමන්ව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉතා පැහැදිළිව සඳහන් කර ඇති බවයි.

කොළඹ අද (07) පැවැත් වූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළහ.

ජනපතිතුමා සහ අගමැතිතුමා නොදැනුවත්ව මේ රට මෙහෙයවන්නේ කවුදැයි යන්න පිළිබඳව ජනතාවට විශාල ප්‍රශ්නයක් මතුව ඇති බව උන්වහන්සේ එහිදී පැවසුහ.

බුද්ධි අංශ නිලධාරීන් අයථා ලෙස අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති වී ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

බුද්ධි අංශ මුළුමනින්ම අක්‍රීය වෙලා :

kamal gunaratneමේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද පවසන්නේ, බලවත්ව තිබූ ආරක්‍ෂක බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බවත්, දැන් යන ආකාරයට රටේ ආරක්ෂක තත්ත්වය එතරම් සුබදායී නොවන බවත්ය.

ඔහු මේ බව සඳහන් කලේ බොරලැස්ගමුව 'ගෝල්ඩන් රෝස්' උත්සව ශාලාවේ 04දා පැවති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත්මඟ' මහ සමුළුවට එක්වෙමිනි.

“මම සොල්දාදුවෙක්‌. මම අත්දැකීම් සහිත වගකීම් සහිත නිලධාරියෙක්‌ වෙලා හිටියා. මට පේනවා මට දැනෙනවා. මට එලාම් එක දෙන්න පුළුවන්. අපේ බුද්ධි අංශ එදා ඉතා බලවත් තත්ත්වයකට ගෙනාවා. ඒකට හොඳම උදාහරණය මැලේසියාවෙ හැංගිල හිටපු කේ. පී. ව රහසේම මැලේසියාවෙදි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාපු එක.

ඒ වගේ බුද්ධි ක්‍රියාන්විත කරල තියෙන්නෙ ලෝකයේම සංවිධාන එකක්‌ දෙකක්‌ පමණයි. එවැනි බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තියෙනවා " යැයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top