15976 BM WEB BANNER 01
Mar 08, 2017

කච්චතිව් හිදී ඉන්දීය ධීවරයකු මරා දැමුවායි විරෝධතා (වීඩියෝ)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයන් උද්ඝෝෂණ කරද්දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒ ගැන බලවත් කනගාටුව පල කොට තිබේ.

 ඉන්දීය රජය සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව  ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ  කරයි.

 ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව මූලික පරීක්‍ෂණ වලදී හෙළිදරව් වී ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසන අතර වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

 එවැනි කිසිදු වෙඩි තැබීමක් හෝ පහරදීමක් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකර නොමැති බවත් අදාළ සියලු වාර්තා අසත්‍ය බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පවසයි.

“අදාළ පාර්ශ්වකරුවන් කවරෙකු වුවද, වෙඩිතැබීමේ සිද්ධියක් ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්නම් එය දැඩි ලෙස සැලකිල්ලට භාජනය වන සිද්ධියක් ලෙස සලකනු ලබන අතර අදාළ ඉන්දියානු බලධාරීන්ගේ සහයෝගය ඇතිව, චන්ද්‍රිකා තාක්‍ෂණය ද  උපයෝගී කර ගනිමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට හැකි සෑම පියවරක්ම ගනු ලැබේ,” යි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වෙයි.

 මියගිය තරුණයා කච්චතිව් දුපත ආසන්නයේ මසුන් මැරීමේ නිරතව සිටින අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තබා ඇති බව ඉන්දීය ධීවර අමාත්‍යංශ නිලධාරියකු  ප්‍රකාශ කර තිබේ.

මළ සිරුර එපා

වෙඩි තැබීමෙන් මියගිය තංගච්චිමඩම් හි 21 හැවිරිදි කේ ටී බ්‍රිට්ජෝ ගේ මළ සිරුර තබා ඇති රාමේස්වරම් රෝහල ඉදිරිපිට වාඩිලාගෙන සිටින ධීවරයන් ඇතුළු දහස් සංඛ්‍යාත තමිල්නාඩු වැසියෝ ඉන්දීය රජයට එරෙහි විරෝධතාවක යෙදී සිටිති.

 ගෙල පසාරු කළ උණ්ඩයකින් බ්‍රිට්ජෝ මියගොස් ඇති අතර වෙඩි වැදුණු සරෝන් නමැති 37 හැවිරිදි ධීවරයා රෝහල් ගතකර තිබේ.

 විධිමත් පරීක්ෂණයක් කර විසඳුමක් ලබා දෙන  තුරු  තරුණයාගේ සිරුර භාරගැනීම ප්‍රතික්ෂේප කරන බව රාමේශ්වරන් ධීවර සමිතියේ සභාපති පී. සේසුරාජා පැවසුවේය.

Tamilnadu fisherman killed protest

 “මේ ධීවර ප්‍රශ්නයට ආණ්ඩුව මැදිහත් වෙලා උත්තරයක් දෙන්න ඕනේ. මේ ප්‍රශ්නය ගැන මහ ආණ්ඩුවේ ඇමතිවරයා කෙලින් උත්තරයක් දෙනතුරු අපි සිරුර බාර ගන්නෙත් නෑ. උද්ඝෝෂණය නවත්තන්නෙත් නෑ,” යි ධීවර නායකයා කියා සිටියේය.

කිසිදු අනතුරු ඇඟවීමක් සිදු නොකොට ක්ෂණිකව වෙඩි තැබීමෙන් 2000ක් පමණ මසුන් ඇල්ලීමේ නිරතව සිටි පිරිස විශ්මයට පත්වූ බවත් ධීවර නායක සේසුරාජා පවසයි.

 රාම්ශ්වරම් හි වෙනත් ස්ථානයක ජංගම දුරකථන කුළුණක් මත නැගී තවත් තරුණ පිරිසක් විරෝධය පල කරනුද දැකගන්නට ලැබිනි.

(radiogagana)


සබැඳි පුවත් :

ඉන්දීය ධීවරයන් තිදෙනෙකුට වෙඩි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top