nsb

Mar 09, 2017

'ඉතාම අශීලාචාර ක්‍රියාවක් : බැඳුම්කරයට නඩු දාන්න' - වජිර

බැඳුම්කර මගඩිය යයි කියමින් එය දේශපාලන සටන්පාඨයක් කර ගැනීම වෙනුවට පුරවැසියෙකු ලෙස කළ යුත්තේ අධිකරණයේ නඩුවක් ගොනු කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

 එසේ නොකොට ඒ පිළිබඳ විවිධ ප්‍රචාර ගෙනයාම නිසා ආයෝජකයින් ආයෝජනය කිරීමට බියක් දක්වන බවත්, එය රටේ සමස්ත ආර්ථිකයටම බලපාන බවත් ඔහු කියා සිටියි.

රටක මූල්‍ය පද්ධතිය දේශපාලනීකරණයවීම ඉතාම අශීලාචාර ක්‍රියාවක් බව ද ඔහු අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා එබව කියා සිටියේ ඊයේ (08) ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

පළමු වරට බැඳුම්කර නිකුතුවක් සිදුවන්නේ 1937 දී බවත්, ඉන්පසුව 1997 දී පමණ සුළු සංශෝධන කිහිපයක් එකතුවීම හැරුණුවිට මෙම බැඳුම්කර ගනුදෙනුවලට අදාළව නීති රෙගුලාසි සංශෝධනයක් සිදුව නොමැති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

නීතියේ ලිහිල් තැන්වලින් රිංගා අධික ලාභ ඉපයීම :

මේ ආකාරයේ නීතිමය තත්ත්වය කාලානුරූපව ශක්තිමත් නොවීම නිසා ඕනෑම ව්‍යාපාරිකයෙකු නීතියේ ලිහිල් තැන්වලින් රිංගා අධික ලාභ ලැබීමට උත්සාහ කිරීමක් සිදුවිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අයුරින් වෙනස්වන ලෝකය සමග නීතිමය තත්ත්වයන් ශක්තිමත් කර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂවල අපොහොසත්වීමක් බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මාසය 5ට හෝ 6ට පමණ ඉහතදී මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව නීති පද්ධතිය ශක්තිමත් කිරීමට යෝජනා කළ බවත්, ජයිකා ඇතුළු ආයතන හා සංවිධාන කිහිපයක් ඊට තම යෝජනා එකතු කර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top