Mar 09, 2017

දිනේෂ් බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට ! Featured

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බොල්ගොඩ සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණීමට මේවන විට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඔහුට සතියක කාලයක් පාර්ලිමේන්තු ගේට්ටුවෙන් පැමිණීම අත්හිටුවීම නිසා ඔහු මේ උපාය යොදා ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමේ යෝජනාවට ඊයේ (08) පක්ෂව ඡන්ද 85ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22 ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 114ක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවත්, තිදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ මහතා කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීම නිසා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට පොලිසිය ගෙන්වුවත් ඔහු ඉවත් කිරීමට නොහැකි වීම නිසා මන්ත්‍රීවරුන් හැට තුනක වැඩි ඡන්දය මත ගුණවර්ධන මහතාට සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් කිරීමට ඊයේ (08 වැනිදා) කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

මෙම සිද්ධිය නිසා පැය පහකට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තුව තුළ දැඩි ඝෝෂා කිරීම් මැද කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවිය. කථානායකවරයාට පාර්ලිමේන්තුව තුන් සැරයක්‌ අත්හිටුවීමට ද සිදුවිය.

1987 දී මුලසුනට අවනත නොවූ අස්‌වර් මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරීම සඳහා සභාගැබට පොලිස්‌ නිලධාරීන් ගෙන්වූ පසු යළිත් පොලිසිය සභාවට ගෙන්වීමට සිදුවූයේ ඊයේ දිනේෂ් ගුණවර්ධන මහතා ඉවත් කිරීම සඳහා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ ආරම්භ වූ අවස්‌ථාවේදී විමල් වීරවංශ මහතා විසින් ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස ජාතික නිදහස්‌ පෙරමුණට සභාවේ පෙනී සිටීමට කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරන බවට කථානායකවරයා තීන්දු කළේය.

එම තීන්දුව ප්‍රකාශ කළ පසු විමල් වීරවංශ මහතා අදහස්‌ ප්‍රකාශ කිරීමට මුලසුනෙන් ඉල්ලා සිටියද කථානායකරවයා ඊට අවසර නොදීම නිසා දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සභාවේ කටයුතුවලට බාධා කරමින්, මුලසුනට අවනත නොවෙමින් කටයුතු කළහ.

තම තීන්දුව ප්‍රකාශ කළ පසු යළි අදහස්‌ දැක්‌වීමට ඉඩ දිය නොහැකි බව කථානායකවරයා ප්‍රකාශ කළද තමන්ට අදහස්‌ දැක්‌වීමට අවස්‌ථාව දෙන්නැයි විමල් වීරවංශ මහතා දිගින් දිගටම ඉල්ලා සිටියේය.

"මට මගේ අදහස්‌ කියන්න ඉඩ දෙන්න... අද බැරිනම් කවදද මට අවස්‌ථාව දෙන්නේ යෑයි වීරවංශ මහතා විමසුවේය.

මෙසේ විමල් වීරවංශ මහතා ඉල්ලා සිටිද්දී දිනේෂ් ගුණවර්ධන මහතා ද කරුණු ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මහතාට අදහස්‌ ප්‍රකාශ කිරීමට අවස්‌ථාව දෙන්නැයි කීවේය.

කථානායකරවයා එම ඉල්ලීම් ප්‍රතික්‌ෂේප කිරීම නිසා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සිය අසුන් මතින් නැගී සිට "ලැඡ්ජයි ලැඡ්ජයි...ලැඡ්ජා නැති කථානායකවරයෙක්‌" යෑයි කියමින් ඝෝෂා කළ අතර ඊට එරෙහිව ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු ද ඝෝෂා කළහ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top