nsb

Mar 09, 2017

'ජිනීවා හිසරදයට දේශීය පිළිතුරක් අවශ්‍යයි' Featured

සුව නොවන ජිනීවා හිසරදයට දේශීය පිළිතුරක් සෙවිය යුතු බව 'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' පවසයි.

''දැන් රැදවුම් නියෝග ලැබූවන් නෑ. එහෙත්, දිගු කාලීන රිමාන්ඩ් සිරකරුවන් ගැන තිරසර ප්‍රවේශයක් අවශ්‍යයි'' යයි පවසන එම සංවිධානය, ජීනිවා හි මානව හිමිකම් කවුන්සිලයට සමගාමීව පැවැත්වෙන රැස්වීම් කිහිපයකදීම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් පිළිබද නිශේධනාත්මක අදහස් පලවී ඇතැයි කියා සිටියි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

සැකකරුවන්ගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට දේශීය වශයෙන් ද දැඩි විවේචණයට ලක් වී ඇති දිගු කාලීන රිමාන්ඩ් සිරකරුවන් පිළිබද නීතිපති, පොලීසිය හා අධිකරණය එක්ව එලදායී ප්‍රවේශයක් ලබා ගැනීම තවදුරටත් ප්‍රමාද නොවිය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

රැදවුම් නියෝග ලැබූවන් නෑ:

මෙවර ජිනීවා සැසිවාරය පැවැත්වෙන අවස්ථාව වන විට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැදවුම් භාරයට පත් කොට ඇති, එනම් 72 වගන්තිය යටතේ රදවා ඇති (Executive Custody) පුද්ගලයින් කිසිවෙකු නොමැත.

2016 වසරේ ඔක්තෝබර් මස දී මුතුර් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අවසන් වරට රදවාගැනීමේ නියෝගයට යටත් කළේය. එය ඉතා යහපත් වූ ප්‍රවනතාවයකි.

ශ්‍රී ලංකාවේ අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද මහාධිකරණයේ නඩු විභාගයට අදාල සැකකරුවන් 89 ක් වෙති. තවත් පුද්ගලයින් 75 දෙකෙනකුට මහෙස්ත්‍රාත් අධිකරණයන් හි නඩු පැවරී තිබේ.

එයින් 29 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් ද, තවත් 46 ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙතින් ද අත් අඩංගුවට පත් පුද්ගලයින් වෙති.

මහාධිකරණ වෙත ඉදිරිපත් පුද්ගලයින් 89 දෙනා ගෙන් 74 දෙනෙකු ද්‍රවිඩ ජාතිකයින් වෙති. සිංහල ජාතිකයින් 9 ක් ද, මුස්ලිම් ජාතිකයින් 6 ක් ද ඒ අතර වෙති.

නිල නොවන හමුදා නැහැ :

එමෙන්ම, 2016 ඔක්තෝබර් මාසයෙන් පසුව මේ දක්වා උතුරු නැගෙනහිර ද ඇතුළුව කිසිදු ප්‍රදේශයකින් නිල නොවන හමුදාවක්, පොලිස් අනු ඛණ්ඩයක් හෝ මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට හෝ වෙනත් ආකාරයකින් දරවා තබා ගැනීමක් සිදු වූ බව ද වාර්තා වී නොමැත.

මහාධිකරණයේ (89) සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ (29 + 46) නියෝග මත රිමාන්ඩ් ගත ව ඇති දෙපිරිස ඒ අනුව 164 කි.

‘දේශපාලන සිරකරුවන්’

ඇමරිකානු එක්සත් ජනපදය සිය 2016 මානව හිමිකම් වාර්තාවේ 9 වන පිටුවේ දක්වා ඇත්තේ, (https://www.state.gov/documents/organization/265760.pdf) There were reports of at least 167 political prisoners; the government did not acknowledge any prisoners as political prisoners.

සරත් ෆොන්සේකාගෙන් පසුව ‘දේශපාලන සිරකරුවන්’ යන යෙදුම භාවිතය විවාද සම්පන්නය.

72 වගන්තිය යටතේ රදවාගැනීමේ නියෝගයක් නොමැති පුද්ගලයෙකු ‘රැදවියෙකු’ ලෙස සැලකිය නොහැකිය.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇති පුද්ගලයින් 164 දෙනාගෙන් ඇප මත නිදහස් කිරීම සලකා බැලිය හැකි පිරිස හදුණා ගැනීම තවදුරටත් අත පසු නොකළ යුතු කටයුත්තකි.

‘අමතකව යන අවසන් රැදවියන්’ :

බරපතල ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිසට සාධාරණ නඩු විභාගයකට ලක් විය යුතුය.

නමුත්, මේ අතර සිටින සෑම අවසනාවන්ත යුද්ධයකම ‘අමතකව යන අවසන් රැදවියන්’ අප රටට මානව හිමිකම් චෝදනා එල්ල කිරීමේ නිමිත්තක් බවට පත් කොට ගැනීම වලක්වා ගැනීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි.

සුළු චෝදනා සහිත සැකකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රමවේදයක් රටතුලින් සොයා ගත හැකි නම්, ජිනීවා හි එක් ප්‍රමුඛ චෝදනාවක් පහසුවෙන්ම ජයගැනීමට අපට හැකි වේ.

දිගු කාලීන නඩු විභාගයන්ට මුහුණ දී සිටීම, සාක්ෂි නොමැතිවීම, චෝදනා එකකට වැඩි ප්‍රමාණයක් යටතේ නඩු පැවරීම හේතුවෙන් ඇප ලබාදිය නොහැකිවීම, නීතිපති දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම වැනි තාක්ෂණික කරුණු හේතුවෙන් නඩු ප්‍රමාදවීම අප රටේ සාමාන්‍ය ව්‍යවහාරයක් බවට පත් ව ඇත.

මෙය බන්ධනාගාර පිරීයාමටත්, නඩු ප්‍රමාදයටත් හේතුවකි.

ගෞරවය හිමි නොවීම :

සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති කේෂ්ත්‍රයක් වන්නේ ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිටි රැදවියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.

අවසානාවකට, ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ ඇති දුබලතාවයන් නිසා එහි ගෞරවය පවා ශ්‍රී ලංකාවට ලබා ගත නොහැකි තත්වයක් මතුව තිබීම අවසනාවකි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top