15976 BM WEB BANNER 01
Mar 09, 2017

මහින්ද, මෛත්‍රීගෙන් විදේශ ඇමතිකම ඉල්ලයි Featured

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයක දී මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉවත් කරන්නේ නම්, එම ඇමති ධුරය තමාට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සමග ඔහු එබව පවසා තිබේ.

ඊට පිළිතුරුදී ඇති එම එජාප ප්‍රබලයා පවසා ඇත්තේ, කැබිනට් මණ්ඩල පත්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතිකර ගත් එකඟතාවය අනුව විදේශ අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බවයි.

එහෙයින් මංගල සමරවීර මහතා විදේශ ඇමති ධුරයෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු ලෙසකින් එකඟ නොවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පවත්වන බවට විදේශ අමාත්‍යවරයාගේ ජිනීවා හිදී ප්‍රකාශ කිරීම නිසා ජනාධිපතිවරයා අමනාපයෙන් පසුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනද, පසුගිය දින කිහිපයේ සිදුවූ ඉන්දුනීසියානු සංචාරයේදී ඔවුන් දෙදෙනා ඉතා සුහද අකාරයෙන් කටයුතු කල බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී කියා සිටියේය.

විදේශ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් විවිධ චෝදනා ඉදිරිපත් කලද ජනාධිපතිවරයා, විදේශ ඇමතිවරයා සම්බන්ධයෙන් වඩා විශ්වාසයකින් යුතුව කටයුතු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මස 21දා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පානදුරේ පිහිටි නිවසට ගොස් සුහද කතාබහක නිරතව සිටි ආකාරය 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය ඡායාරූප සහිතව වාර්තා කළේය.


සබැඳි පුවත් :

මෛත්‍රී හා මහින්ද මංගලගේ ගෙදර යයි (ඡායා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top