nsb

Mar 10, 2017

'කොලඹ හාදයාට' විශේෂ පොලිස් ආරක්‍ෂාවක් - මරික්කාර් කිපේ Featured

අවිස්සාවේල්ල ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක, කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්‍ෂාව ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක මහතාගෙන් ඊයේ (09) විමසා සිටියේය.

ශ්‍රීලනිප ආසන සංවිධායකයෙක් වූ පමණින් ඔහුට පොලිස් ආරක්‍ෂාව හිමිවන්නේ කෙසේදැයි විමසූ මන්ත්‍රීවරයා, මරණ තර්ජන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ තමන්ටද ලැබී ඇත්තේ ඊට අඩු ආරක්‍ෂාවක් යයිද කීය.

සිය ප්‍රශ්නය යොමුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කෙළේ අදාළ ආසන සංවිධායවරයාට තර්ජනයක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිනී මැරුම් චෝදනාවක් යටතේ මේ වනවිට බන්ධනාගාර ගතව සිටින බැවින් ඔහුට තර්ජනයක් නොමැති බවයි.

ක්‍රමවේදය උල්ලංඝනය කරලා ?

ප්‍රභූ ආරක්ෂාව හිමිවිය යුතු ජනතා නියෝජිතයින් ඇතුළු අනෙකුත් පුද්ගලයින් හට විශේෂ ආරක්ෂාව සපයන්නේ නියමිත ක්‍රමවේදයට බවත් එම ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කවරෙකුට හෝ ආරක්ෂාව සපයා ඇත්නම් ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු දෙමින් පැවැසීය.

එම ආසන සංවිධායකවරයාට එවැනි ආකාරයේ ආරක්ෂාවක් ලබාදී ඇති බවට තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව ජීවිත තර්ජන ඇති අයට පමණක් විශේෂ ආරක්ෂාව සපයන අතර එම ක්‍රමවේදය උල්ලංඝණය කළ පොලිස් නිලධාරියෙක් වේනම් එම තැනැත්තා ඉවත්කළ හැකි බව ද පැවැසීය.

ජනපතිගේ හිතවතෙක් :

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඔහුගේ සහයට එක්වූ සෝලංගආරච්චි මහතා ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු ලෙස සැලකේ.

ජනාධිපතිවරයා 22 දා සිදුකිරීමට නියමිත රුසියානු සංචාරයටද මොහුව ද නම්කර තිබේ.

ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පසුගිය මහ මැතිවරණයේදී සිය ඡන්ද සටන මෙහෙයවුයේ, 'කොලඹ හාදයා' ලෙස තමාව හඳුන්වා දෙමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top