Oct 31, 2016

'ආවා' කවුදැයි පොලිස්පති පූජිතගෙන් අහමු

පොලිසියට සහ ඇතැම් ජනමාධ්‍යවලට අනුව ආවා යනු අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසකගෙන් සමන්විත මැර කල්ලියකි. එකා දෙන්නා එකතු වී ගමේ බෝක්කු උඩ රස්සා නැති නිසා රස්තියාදු ගැසූ කොල්ලන් කුරුට්ටන් දහ දොළොස් දෙනෙක් එකට එකතු වී මැර ක්‍රියා කරන්නට පටන් ගෙන තිබේ. මුලින් අහල පහළ පුද්ගලයන්ට පොඩි දේටත් පහර දීමෙන් අපටන් ගත් මේ කණ්ඩායමට අධිබල යතුරු පැදි ලැබී ඇත. ඉන් පසු මේ කල්ලිය සන්නද්ධ කල්ලියක් ලෙස කොන්ත්‍රාත් අරගෙන කපන්නට කොටන්නට පටන් ගෙන තිබේ. ඒ පොලිසියේ කතාවයි.

පොලිසිය නිතරම කියනුයේ ඒ කතාවයි. පොලිසියේ කතාව ඇත්ත නම් මේ ආවා කල්ලිය ගැන වග කිව යුත්තේ ද පොලිසිය සහ රජයයි. උතුරේ තරුණයන්ට රස්සා ලබා දෙන්නට තවමත් රජයට ක්‍රමවේදයක් නැත. ඔවුන් නිතරම කියන්නේ යුද සමයේ තමන්ට එල්ටීටීඊ සංවිධානයෙන් රැකියා ලබා දුන්නත් දැන් රැකියා නැති බවය. යුද්ධයෙන් පසු උතුරේ ජනයාගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජයට ඇත්තේ අත් හැරිය නොහැකි වගකීමකි. රස්සා නැතිව රස්තියාදු ගහන කොල්ලන් 10ක් 12ක් සංවිධානාත්මක මැර කණ්ඩායමක් වන තුරු පොලිසිය උඩ බලාගෙන සිටියාද යන්න ගැටළුවකි. යාපනයේ තරම් පොලිස් සහ හමුදා බුද්ධි අංශ රටේ වෙන කිසිම තැනක නැති තරම්ය. ඒ තරම් ඉන්නා බුද්ධි අංශවලට මේ තොරතුරු නොලැබුණිද? මෙය වර්ධනය වන තුරු පොලිසිය සිටිනේ උඩ බලාගෙනද?

‘ආවා‘

පෙර සඳහන් කළ කණ්ඩායමේ නායකයා ලෙස හැඳින්වූයේ කුමරේෂන් රත්නම් විනෝදන් නම් තරුණයෙකි. ඔහුගේ සුරතල් නාමය වූයේ ‘ආවා‘ යන්නය. යම් සිදුවීම් කිහිපයකට ඔහු අත්අඩංගුවට ගත් පොලිසිය මෙම කණ්ඩායම ‘ආවා‘ ගේ නායකත්වයෙන් තිබූ බව කියන නිසා ‘ආවා‘ කණ්ඩායම ලෙස නම් කර ජනමාධ්‍යයට තොරතුරු ලබා දුන්නේය. ජනමාධ්‍යයද එය රසකරමින් පළ කළේය. ආවා නමේ නියම කිමිකරුවන් එම කණ්ඩායමේ උදවිය නොව එම තරුණ පිරිසට ආවා කණ්ඩායම ලෙස නම් පට බැඳි පොලිසිය සහ ජනමාධ්‍යයය.

‘පූජිත‘

2015 ජනවාරි 25 වැනි දා දැන් පොලිස්පති එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්විය. එම ස්ථාන මාරුව ලැබීමට පෙර ඔහු උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය. ඔහු උතුර භාරව සිටින කාලයේ ද යාපනයේ යම් යම් මැර ක්‍රියා, කොල්ලකෑම් විය. ඒවායේ වග කීම පොලිසිය බාර කළේ ‘ආවා‘ කල්ලිය වෙතය.

2014 ජනවාරි මාසයේ ජනමාධ්‍ය වාර්තා කළේ පූජිත ජයසුන්දරගේ උපදෙස් පරිදි ‘ආවා‘ කල්ලිය අල්ලා ගැනිමේ මෙහෙයුම එවකට කෝපායි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩිට බාර කැරුණු බවයි. ශ්‍රීනික ජයකොඩි කාලයක් මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ අතර ඉන් පසු ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කරනු ලැබීය. (හේතුව සඳහන් නොකරමු.) පසුව ඔහු කොළඹ දිස්ත්‍රික්කයට ස්ථාන මාරු කළ අතර පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඔහු කෝපායි ස්ථානාධිපති ලෙස පත් කරනු ලැබීය.

පොලිස් පරීක්ෂක ශ්‍රීනිකගේ මෙහෙයවීමෙන් උපාය මාර්ගිකව පෙර කී විනෝදන් සහ කපිලන්, කයිලාසම්, රාසයියා, අන්නලිංගම්, දිවාහරන්, ආදිත්‍ය, ජයචන්ද්‍රන්, සින්නා, සන්නා, ඩයිල් ටීබන්, ගෝකුලන් යන සෙසු සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළ අතර එය එකල ජනමාධ්‍යයද වාර්තා කළේය.

2014 ජනවාරි 12 වැනි දා මෙය වාර්තා කළ දිවයින පුවත්පත එම ලිපියේ මෙලෙස ඡේදයක් පළ කර තිබිණි.

‘‘ආවා කණ්‌ඩායම ගැන දැන් වැඩිදුරටත් පොලිස්‌ පරීක්‌ෂණ පැවැත්වෙන්නේය. දකුණේ වාගේමය. උතුරේදීත් උතුරේ දේශපාලනය මේ පරීක්‌ෂණවලට බාධා කරන්නේය. අප කල්පනා කළ යුත්තේ මේ මතුවෙමින් ඇති මෙවැනි බිහිසුණු ප්‍රකාශනවල ස්‌වරූපය ගැනය. මේ කණ්‌ඩායමේ නොමේරූ තරුණයන් කිසි කෙනෙක්‌ පස්‌විසි විය ඉක්‌මවා නැත. ඔවුන් තිස්‌ අවුරුදු යුද්ධය හා කරදඬු උස්‌මහත් වන ඒ යුද්ධයේ නිෂ්පාදනයන්ය. දෙමළ චිත්‍රපට වීරයන් චුන්නාකම්වල පහළ කරගන්නට හීන දකින මේ නොමේරූ තරුණයන් අවසානයේදී ටී.එන්.ඒ. එකේ පරිණත දේශපාලන නායකයන් විසින් ස්‌වකීය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන්නේය. ත්‍රස්‌තවාදීන් හෝ අපරාධකාරයන් බිහිවන්නේ එසේය. උන් සියලුදෙනාම මේ රටේ බලවතුන්ගේ නිෂ්පාදනයන්ය. නියපොත්තෙන් කඩා දැමීමට හැකිදේ පොරොවෙන් කපා දමන තත්ත්වයට පත්වනතුරු සිටීම භයානකය. අතීතයේදී අපට අත්විඳින්නට සිදු වූයේද එවැනි තත්ත්වයකි. ‘‘

දිවයින පුවත්පත මේ ලිපිය පළ කරන සමයේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ද වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරම ය.
උතුරේ නොව දකුණේ නොව කොහේ වුවද මැර වැඩ අනුමත නොකළ යුතුය. නීතියේ රාමුව තුල මැරයන් මර්දනය කළ යුතුය. (නීතියේ රාමුව තුළ යැයි කීවේ ආයුධ පෙන්වන්නට ගොස් බොහෝ සැකකරුවන් පොලිස් වෙඩිපහරින් මිය යන බැවිනි.) උතුරේ ආවා කල්ලියේ සියලු දෙනාම පාහේ 2014 මුල අල්ලා ගත්තා නම් ජනමාධ්‍ය වාර්තා කළ පරිදි ඔවුන් පිටුපස දෙමළ දේශපාලකයන් සිටියා නම් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ ඇයි? එය ඇසිය යුත්තේ අන් කවරකුගෙන්වත් නොව එවකට උතුර භාරව සිටි පූජිත ජයසුන්දරගෙන් ය.

කවුරුත් වැඩිය ප්‍රසිද්ධ නොකළ කතාවක් තිබේ. ඒ ආවා කල්ලියේ සාමාජිකයකු යැයි කියමින් අත්අඩංගුවට ගත්තන් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කළක් කටයුතු කළ පුද්ගයකු ද සිටීමය. ඔහු රවී කුමාර් කපිලරාජ්ය. මනිපායි පොලිසියට අනුව යාපනය සරසවි සිසුන් තිදෙනකුට කෙටීමේ සිද්ධියට ද ඔහු සම්බන්ධ වී තිබිණි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ අයකු නම් ඇතැම් විට රටේ ප්‍රධානියාට අනුව ඔහු ද රණවිරුවෙකි. 2006 නොවැම්බර් 10 වැනි දා මාතා පාර අසලදී ඝාතනය කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට ද හමුදාවට සම්බන්ධ දෙමළ ජාතිකයන් සිටි බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති ලඝු නොවන නඩු විභාගයේ දී කියැවිණි. රවිරාජ් ඝාතනය කළේ හුණුපිටිය ගංගාරාමය අසල ලොන්ඩරිවත්තේ තෙමහල් නිවසක පවත්වාගෙන ගිය රජයේ බුද්ධි අංශයකින් බව රහස් පොලිසිය කීවේය. ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල් විජේවික්‍රම මනම්පේරිගේ සම්පත් ප්‍රීති විරාජ් රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් මේ ගැන තොරතුරු රැසක් ලබා දී ඇති අතර එම බුද්ධි අංශය පිටුපස සිටියේ කවුරුන්ද යන්නද ඔහු ප්‍රකාශ කර තිබිණි. මේ අනුව පැහැදිලි වන්නේ ඇතැම් දෙමළ ජාතිකයන් අපරාධ සඳහා යොදා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි.

අදිසි හස්ථය

කෙසේ වෙතත් වරින් වර මෙලෙස ‘ආවා‘ කල්ලියේ අය යැයි කියමින් පොලිසිය 25 දෙනක් පමණ අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ සෑම අවස්ථාවකම පොලිසියේ කීවේ ‘දැන් ආවා ඉවරයි‘ කියාය. 2015 අගෝස්තු 17 රිවිර පුවත්පත වාර්තා කළේ ද ආවා කල්ලියේ සියලු සාමාජිකයන් අත්අඩංගුවට ගෙන හමාර බවය. නමුත් ඉවර වූයේ නැත. අත්අඩංගුවට ගත්තෝ රිමාන්ඩ් බාරයේ සිටිය දී ද තවදුරත් යම් යම් ක්‍රියාකාරකම් සිදු වූ අතර ඒ සෑම දේකදිම පොලිසිය කීවේ ඒවා ආවා කල්ලියේ වැඩ බවය.

සාමාජිකයන් සියල්ල අත්අඩංගුවට ගත්තා නම් ආවා පැටව් දමන්නේ කෙසේද? ඔවුන් අපරාධ කරන තුරු පොලිසිය බුදිද?

පොලිසිය දිගින් දිගටම කීවේ ආවා කල්ලිය කොන්ත්‍රාත් අපරාධ කරන බවයි. ඔවුන්ට කොන්ත්‍රාත් දෙනේනේ කවුද? අද වන තුරු පොලිසිය කියන කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට පත් වූයේ නැත. පොලිසියට කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීමට බැරි වී ඇත්තේ ඒ කොන්ත්‍රාත් දෙන්නේ පොලිසියට වඩා බලයක් ඇති ආයතනයක පිරිසක් නිසාද? මාලිගාවත්ත පාතාලය , දකුණේ පාතාලය ආදී පාතාලයන් මෙල්ල කළායැයි කියන පොලිසියට පොඩි කොල්ලන් රැලක් මෙල්ල කර ගැනීමට බැරිවීම ගැන අපි කොහෙන් සිනා වෙන්නද? දැන් ආවා ඉවරයි කියා පොලිසිය කියද්දී අවා යළි යළිත් පැටව් දමන්නේ පොලිසියට පාලනය කළ නොහැකි පිරිසක් මේ පිටුපස සිටින නිසා විය යුතුය.

ආවා සහ හාවා

ඇතැම් දකුණේ දේශපාලකයන් සහ ඇතැම් ජනමාධ්‍යවේදීන් සිතාගෙන සිටින්නේ කැරට් අලයක් කන්නට දී පැත්තකට කළ හැකි හාවුන් වැනි පිරිසක් ලංකාවේ සිටිනා බවය. ඊට හේතුව ‘ආවා‘ ගැන ප්‍රතිරූපය මවන්නේ ආවා යනු සිංහලයන්ට පහර දෙන සිංහලයන්ට කොටන , සිංහලයන් මරන්නට හදන කල්ලියක් ලෙසය. එවැනි ජන මතයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ දරති.
ඇත්තටම මේ කියන ආවාලා සිංහලයන් හානි කළ අවස්ථා ගණන දෙක තුනකි. පොලිස් වාර්තා වලට අනුවම ඔවුන් කළ ඇතැයි කියන සිය ගණනක් අපරාධවලින් පීඩාවට පත් වී ඇත්තේ දෙමළ ජනයාය. ඔවුන් මංකොල්ල කා ඇත්තේ සිංහලයන්ගේ සල්ලි නොව දෙමළයන්ගේ සල්ලිය. ඔවුන් කපා කොටා ඇත්තේ (පොලිසියේ තිදෙනා හැර) සිංහලයන්ට නොව දෙමළන්ටය. ඔවුන්ගේ කරදර ඇත්තේ සිංහලයන්ට නොව දෙමළන්ටය. ආවාට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ ද සිංහලයන් නොව දෙමළන්ය.

පොලිස් වෙඩි පහරින් මිය ගිය සුලක්ෂන්ද වරෙක ආවාලාගේ ගොදුරක් බවට පත් වී තිබිණි. ඔහු ආවාලාගෙන් පහර කා තිබිණි. ඒ ගැන සුලක්ෂන් පොලිසියට පැමිණිලි කළත් විමර්ශනයක් සිදු වී තිබුණේ නැත.

ඔක්කොම කුණු බේරේ වැවටයි

පෙර සඳහන් කළ පරිදිම ආවා යන නම පට බැන්දේ ජනමාධ්‍ය හා පොලිසියයි. උතුරේ හා දකුණේ ඕනෑම තැනක ඕනෑම සමාජයක සිටින පිරිස් අතර මත ගැටුම් තිබීම සාමාන්‍ය දෙයකි. උදාහරණයක් ලෙස සිංහල බෞද්ධයන් සිටිනවායැයි කියන කැලණිය ගනිමු. කැලණිය පොලිස් ස්ථානයට ගොස් පොලිස් පොත් පිරික්සුවහොත් කැලණියේ සිදුවූ අපරාධ ගනයේ වැරදි ගණන අති විෂාලය. සුළු වැරදි ගණන ඊටත් වඩා විශාලය. මේ සියලු අපරාධ එකම කණ්ඩායමක් කළ ඒවා නොවේ. ඒ බොහෝ අපරාධ හුදකළා සිදුවීම්ය. ලංකාවේ ඕනෑම පොලිසියක පැමිණිලි පොත් පිරික්සුවහොත් ඒ සෑම තැනකම පාහේ ඇත්තේ මේ තත්ත්වයමය.

එය උතුරටත් පොදුය. යාපනයේ ඉන්නේ සාමාන්‍ය මිනිසුන් මිස අමුතු ජාතියක් නොවේ. ආවා කල්ලියක චිත්‍රයක් මැවීමෙන් පසු යාපනයේ හුදකලා සිදුවීම් බොහෝමයක් පාහේ වැටුණේ ආවා කල්ලිගේ ගිණුමටය. ඔක්කොම කුණු බේරේ වැවට මෙන් යාපනයේ සිදුවන බොහෝ සිදුවීම්වල වගකීම වැටුණේ ආවා කල්ලියේ ගිණුමටය. ඒ අනුව ආවා ප්‍රතිරූපය නංවන්නට වැඩිපුරම දායක වී ඇත්තේ පොලිසිය සහ ජනමාධ්‍යයය.

අවා නාටකයේ අවසානය

මට්ටක්කුලියේ මිනීමරුම ගැන විමර්ශනය කළ පොලිසිය ඊට සැකපිට 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පසුගිය වකවානුවේ සිදුවූ දරුණු ගනයේ බොහෝ අපරාධවලට සම්බන්ධ සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ. දකුණේ ප්‍රභල දේශපාලකයන්ගේ රැකවරණ යටතේ සිටින අපරාධකරුවන් පවා අත්අඩංගුවට ගත් අවස්ථා ඕනෑ තරම් ඇත. එසේ නම් යාපනයේ මේ තරම් පොඩි කල්ලියක් මෙල්ල කරන්නට පොලිසියට බැරි ඇයි?

ආවා නාටකයේ අවසානය සනිටුහන් කිරීමට නම් ආවා පිටුපස සිටින අදිසි හස්තයද හෙළි දරව් කළ යුතුය. උතුරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි පූජිත ජයසුන්දර ආවා ගැන නොදන්නවා විය නොහැකිය. එදා යම් යම් බලපෑම් තිබු නිසා ආවා පිටුපස සිටින අදිසි හස්ථය නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූවා නම් ඒ සඳහා පුජිත ජයසුන්දරට හොඳම අවස්ථාව දැන් උදාවී ඇත. ඒ දැන් ඔහු පොලිස්පති නිසාය.

ආවා ගැන හොයන්නට පොලිස් කණ්ඩායම් නවයක් යෙදවා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ආවා ආවා යැයි කියමින් පැත්තක සිටින අහිංසකයන් ටිකක් හෝ හුදකලා සිදුවීම් වලට සම්බන්ධ පිරිසක් හෝ බිම් මට්ටමේ ආවා මැරයන් හෝ අත්අඩංගුවට ගෙන ආවා ඇල්ලුවා යැයි කියමින් ලොකු ප්‍රචාරයක් ලබා දී අත පිහදා ගන්නවා වෙනුවට ආවා මෙහෙයවන ආවා පිටුපස සිටින අදිසි හස්ථය නීතිය හමුවට ගෙන ඒම මෙවර අනිවාර්යයෙන් කළ යුතුය. එසේ නොකළ හොත් පොලිසියේ හැකියාව ගැන ජනතාව දෙවරක් සිතනු ඇත.

තරිඳු ජයවර්ධන

(ඡායාරූපයේ ඉන්නේ පොලිසිය කියන ආවාය.)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top