nsb

Mar 10, 2017

ජනමත විචාරණයකට නොගොස් නව ව්‍යවස්ථාවකට යෝජනා ! Featured

ජනමත විචාරණයකට නොගොස් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන ආකාරය යෝජනා කරන්නැයි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් වේ.

නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට නොයායුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට තීරණය කර ඇති බැවින් එවැනි ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

කෙසේවුවද ජනමත විචාරණයකින් තොරව වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දැනුම්දී ඇතැයි වාර්තාවේ.

මේවනවිටත් ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ නිශ්චිතව සකස්කර නොමැති අතර, නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට යායුතු දැයි තීරණය කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

අගමැති තනියෙන් !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් පාර්ශව දක්වන උනන්දුව මේවනවිට ක්‍රමක්‍රමයෙන් අවම වෙමින් පවතින අතර මේවනවිටත් ඊට සක්‍රිය දායකත්වයක් ප්‍රදර්ශනය කරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පමණි.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ප්‍රධානින් 21ක් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව මේවනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් 51 වතාවක් රැස්ව ඇති නමුත් පසුගිය 08 දා පැවති 52 වන රැස්වීමට සහභාගිවී ඇත්තේ අගමැතිවරයා පමණි.

එහි සාමාජිකයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමට එම කමිටුවේ කිහිප දෙනෙකු සහභාගිවී සිටි අතර අනෙකුත් සාමාජිකයින් නොපැමිණියෙන් අගමැතිවරයා පැයකට ආසන්න කාලයක් බලා සිට නැගිටගොස් තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top