15976 BM WEB BANNER 01
Mar 11, 2017

ආරක්ෂක අංශ වලට වාසිදායක නීති සංශෝධනයක් ! (වීඩියෝ)

මෑත භාගයේ ගෙන එන ලද පනත් සංශෝධන මගින් ආරක්ෂක හමුදා සහ පොලිසියට වාසිදායක ලෙසින් නීති සකස් කිරීමට ශ්‍රී ලංකාවේ රජය වීරිය කරන්නේදැයි සැකයක් මතුවන බවට දිවයිනේ ප්‍රධාන පෙලේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයක් බිය පල කරයි.

අපරාධ විනිශ්චය විශේෂ  විධිවිධාන පනත සඳහා අලුතින්ම කෙටුම්පත් කොට ඇති සංශෝධන මගින් අත් අඩංගුවේ ඉන්නා අයට නීතියේ පිළිසරණ ලබාගැනීමට තිබෙන අවස්ථා වලට සීමා පැනවෙන බව පෙන්වා දෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එම වගන්ති වහාම ඉවත් කරගන්නා ලෙස රජයට බලකර සිටී.

යෝජිත සංශෝධන නීතිය බවට පත් වුවහොත්, පොලිස් ස්ථානයක රඳවා සිටින පුද්ගලයකු මුණ ගැසීම පවා  “පවත්වාගෙන යන විමර්ශනවලට බාධාවක්” වනු ඇතැයි සිතන්නේ නම් පොලිස් ස්ථානාධිපති වරයකුට වුව නීතිවේදියකු වලක්වා ලිය හැකි බව 'රේඩියෝ ගගන' කළ විමසීමකදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) නීති පර්යේෂක ලුවී නිරන්ජන් කියා සිටියේ.

“පොලිසියට සහ ආරක්ෂක අංශවලට වැඩි බරක් යොමු කරලා මේ පනත් සකස් කරලා වගෙයි පේන්නේ,” යයි කී ඔහු එය සාධනීය  තත්වයක් නොවන බවට අනතුරු ඇඟවීය.

පෙබරවාරි 21 දා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ගැටළු සහගත සංශෝධන දෙක ගැසට් පත්‍රයේ පල කොට ඇත්තේ මාර්තු 6 දාය.

අසීමිත බලතල ලැබෙන මර්දනකාරී පනතක්

නව සංශෝධනය මෙන්ම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට යෝජිත පනත ද CPA ඇතුළු දෙස් විදෙස් සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධයට ලක්වූයේ පොලිසිය සහ ආරක්ෂක හමුදා වලට අසීමිත බලතල ලැබෙන මර්දනකාරී එකක් ලෙසිනි.

සිරගතව සිටියදී වධහිංසාවට ගොදුරුවන අයුරු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පමණක් නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ අධිකරණ තීන්දු වලින් පවා තහවුරු කර දී ඇති බව පෙන්වා දෙන නීතිවේදී ලුවී නිරන්ජන් නව නීති මගින් එය වැළක්වීමේ ඉඩකඩ ඇහිරී යන බව අවධාරණය කරයි.

“මේ වගේ පුළුල් ලෙස ව්‍යතිරේක සකස් කිරීමේ මගින් සිද්ධ වෙන්නේ පුද්ගලයන් වධහිංසාවට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි කිරීමක්, අඩු කිරීමක් නොවේ,” යි ඔහු පවසයි.


බලාපොරොත්තු “කණපිට හැරවීමක්”

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වන පරිද්දෙන් රටේ නීති වැඩිදියුණු කරනු ඇතැයි පවතින අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමේ අරමුණින් නව අනපනත් සකස් කෙරුනත් යෝජිත වර්ගයේ සංශෝධන වලින් සිදුවන්නේ ඒ බලාපොරොත්තුව “කණපිට හැරවීමක්”  බව CPA නීති පර්යේෂක ලුවී නිරන්ජන්  අවධාරණය කරයි.

“ජාත්‍යන්තර නීතියට පමණක් නොවේ ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාවටත් එය අනුකූල වන්නේ නෑ.”

පොලිසියේ සහ රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ලවන අත් අඩංගුවේ වධහිංසා සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන දිගටම දණ්ඩ මුක්තියක් විඳින්නට ඉඩ සලසා ඇති බවට ආණ්ඩුව එක්සත් ජාතීන්ගේත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන වලත් දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටී.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top