Mar 12, 2017

ගෝඨාගේ ‘වියත්මග’ ගැන බුද්ධි අංශ විමසිල්ලෙන් Featured

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය, හමුදා සාමාජිකයන් පොලඹවා ගැනීම මඟින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරිත්වයක් විය හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මඟ’ නමැති සංවිධානය විසින් පවත්වනු ලැබූ සමුළුවක දී එහි දේශකයන් කිහිප දෙනකු විසින් පළ කළ අදහස් අනුව මේ සැකය වඩාත් තීව්‍ර වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රාජ්‍ය ආරක්ෂක අංශයන් හි ඇතැම් සාමාජිකයන් විසින් සිදුකර තිබෙන දේශපාලන හා පෞද්ගලික පලිගැනීම් පදනම් කොටගත් ඝාතන චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලීසිය විසින් විමර්ශන ගණනාවක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ඉහළ හමුදා නිලධාරීන්, සෙබළුන් හා පසුගිය රාජපක්ෂ රෙජීමය අවධියේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි චෝදනා එල්ල වෙමින් පවතී.

මෙම විමර්ශන කටයුතු හා අධිකරණමය කටයුතුවල දී එම සිදුවීම්වලට අදාළව ඒ තහවුරු කළ හැකි සාක්ෂි ගණනාවක් මේ වන විට රහස් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

හමුදාව පොලඹවා ගැනීමට :

මේ අනුව සිදු විය හැකි තත්ත්වයන් සලකා බලා ඊට පෙර ත්‍රිවිධ හමුදාව තුළ කැලඹිලිකාරිත්වයක් ඇති කර ආණ්ඩුවට එරෙහි තදබල ක්‍රියාමාර්ගයක් ගැනීමට ත්‍රිවිධ හමුදාව පොලඹවා ගැනීම අරමුණු කොටගෙන ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ගන්නා උත්සාහයන් ගැන බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබේ.

'වියත්මඟ' නම් සංවිධානය පසුගිය දා පැවැත්වූ සමුළුව තුළින් ද මේ සඳහා විශාල පෙලඹවීමක් සිදු කර තිබේ.

විශේෂයෙන්ම මෙම සමුළුවේ දී ඇමැති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාව ආණ්ඩුවට එරෙහිව පොලඹවනසුලු ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.

රාජපක්ෂවරු එම පාලන සමයේ දී මෙරට වර්ගවාදී ගැටුම් ඇති කරලීම වෙනුවෙන් බොදු බල සේනා, තව්හිද් ජමාත් වැනි සංවිධාන කෙරෙහි අනුග්‍රාහකත්වය දැක්වූ බවට චෝදනා එල්ල වී ඇති අතර මේ වන විට වියත්මඟ, යුතුකම සංවාද කවය වැනි සංවිධාන ඒ වෙනුවෙන් යොදා ගනිමින් තිබෙන බව පෙනී ගොස් තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකර ඇත.

රතන හිමිගෙන් බයිට් :

ඒ කෙසේ නමුත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජාතික හෙළ උරුමය නියෝජනය කරන එජාප පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි ද හමුදාමය ක්‍රියාන්විතයන් නොවන අපරාධමය කටයුතුවලට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති හමුදා සාමාජිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම ද මේ වන විට ආණ්ඩුව තුළ ගැටලුකාරිත්වයක් ඇති කර තිබෙන බව එජාප ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම චෝදනා ලත් හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමේ දී ඊට පෙර හමුදාපතිවරයා දැනුවත් කිරීම සිදු කළ යුතු බවට අදහසක් ප්‍රකාශයට පත් කිරීම බරපතළ කරුණක් බව එජාපයේ මතය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා හෝ කථානායකවරයාගේ අවසරය අවශ්‍ය බවට හෝ නීතියක් නොපවතින තත්ත්වයක් තුළ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යෝජනා කිරීම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයක් බවත් මේ රටේ පවතින නීතිය නොසලකා විශේෂ වරප්‍රසාදයක් ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබා දීමක් බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

එමෙන්ම රතන හිමියන්ගේ ඇතැම් ප්‍රකාශ ආණ්ඩු විරෝධී ජාතිවාදී බලවේගවලට උත්තේජන සපයා දීමක් වීම ගැන ද රතන හිමිට චෝදනා එල්ල වී ඇත.


(ඩී. මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top