Mar 12, 2017

ශ්‍රීලනිපයෙන් නව ව්‍යවස්ථාවට රතු එළියක් ! Featured

විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා හෝ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප සියලු පාර්ශව දක්වන විරෝධතාව නිසා ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුව හරහා සිදු කළ හැකි උපරිම සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අනුව මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුවෙන් ඒ සඳහා යෝජනා ඉල්ලා සිටීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීම :

කෙසේ නමුත් මේ වන විටත් ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස් කිරීම හෝ ආරම්භ වී නොමැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න එම පනත් කෙටුම්පත සැකසීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන අර්ථ දැක්වීම අනුව සිදු වන කරුණකි.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ විදේශ ඇමැතිවරයා නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා ජනමත විචාරණයක් පවත්වන බව පවසා තිබුණු අතර කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ද ඒ බව පවසා තිබිණි.

කුමන්ත්‍රණයක් :

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශේෂඥ වාර්තාවකට අනුව මේ මොහොතේ ජනමත විචාරණය කිසිඳු ලෙසකින් ජය ගැනීමට නොහැකි බව පෙන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ විද්වතුන් පිරිසක් පෙන්වා දෙන්නේ ජනමත විචාරණය පරාජය වන නමුත්, උතුරු නැඟෙනහිර දී එම යෝජනාව ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩකඩ නිසා, මධ්‍යම ආණ්ඩුව උතුරු නැඟෙනහිර ජනයාට සාධාරණ විසඳුමක් දීමට නොකැමැති බවට දෙමල ඩයස්ෆොරාවට ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට අවස්ථාවක් ලැබෙන බවය.

ඒ අනුව වර්තමානයේ දී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයේ දී ඉන් ඉවත් විය යුතු බවට බහුතර තීන්දුව ලැබුණ ද අයර්ලන්තයේ බහුතරය ඊට ප්‍රතිවිරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පදනම් කරගෙන, බ්‍රිතාන්‍යයෙන් වෙන්ව ස්වයං පාලන ප්‍රදේශයක් ඉල්ලා සිටිනවා මෙන් උතුරු නැඟෙනහිර ජනතාව ද වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලා සිටිය හැකි බව ද මෙම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජනාධිපතිවරයා දැනුවත් කොට ඇති බව පැවසේ.

ඒ අනුව ජනමත විචාරණ යෝජනාව දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් විය හැකි බවට ද මෙම පිරිස කරුණු දක්වා ඇත.

දිනන්න පුළුවන් :

ඒ කෙසේ නමුත් විදේශ ඇමති මංගල සමරවීර මහතා ජනමත විචාරණයක් ඉහළින් ජයග්‍රහණය කළ හැකි බවට දැඩි මතයක පසුවේ.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස ජනතාවට කරුණු අවබෝධ කර දීමට තවමත් ආණ්ඩුව අසමත් වීමත් ආර්ථික අර්බුදය නිසාත් ජනමත විමසුමක් පරාජයට පත්වීමේ ඉඩකඩ වැඩි බව දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත.

(ඩී. මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top