nsb

Mar 13, 2017

සුවය පතා රෝහලට ගිය තිදරු මවක් මරු තුරුළට

මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබා ගත් විසිපස් හැවිරිදි තිදරු මවක් මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම කාන්තාව අදාල රෝහලට ඊයේ (11දා)  ඇතුළත් කර ඇතත් කිසිදු ලියාපදිංචියකින් තොරව සැත්කම සඳහා රැගෙන ගොස් ඇති බව අනාවරණ වී ඇත.

ශල්‍යකර්මයට පෙර මෙම කාන්තාවට ලබා දුන් එන්නත් සහ ඖෂධ හේතුවෙන් ඇති වූ ආසාත්මිකතාවක් මරණයට හේතු වන්නට ඇති බවට සැක කෙරේ.

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ සුදුහුම්පොළ ප‍්‍රදේශයේ පදිංචි ෆාතිමා අස්මි නම් වූ කාන්තාවකි. සිද්ධියෙන් පසු මියගිය කතගේ ඥාතීන් අදාළ ‍රෝහල වටලා නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා පොලීසිය එහි පැමිණ රෝහලට විශේෂ ආරක්ෂාවක් ද සපයා ඇත.

වෛද්‍යවරයාගේ වගකීම

මෙම කාන්තාවට සිදු කිරීමට නියමිතව තිබුණේ අර්ශස් රෝගය සඳහා වන සුළු ශල්‍යකර්මයක් බවත් ඒ සඳහා පෙරවරු 9.00ට පමණ ඇයට මත් ගතිය ඇතිවීම පිණිස හා හිරිවැටීම පිණිස ඖෂධ වර්ග දෙකක් ලබාදුන් බවත් එහි අහිතකර ප්‍රතික්‍රියාවකින් මරණය සිදුවන්නට ඇති බවට සැකකරන බවත් මහාචාර්ය අර්ජුණ අළුවිහාරේ මහතා සදහන් කර තිබේ.

‍රෝහලේ ප්‍රතිකාර සඳහා යන වියදම පාලනය කිරීම සඳහා රෝගීයා වාට්ටුවකට ඇතුළත් නොකර ශල්‍යාගාරයට ගත් බවත් එහි ප්‍රතිකාර ලබාදී පැය කිහිපයක් තුළ ඇයව නිවසට යැවීමට හැකි වෙතැයි තමන් කල්පනා කළ බවත් වෛද්‍යවරයා පවසා තිබේ.

මෙවැනි තත්ත්වයක් කලාතුරකින් සිදුවිය හැකි බවත් තමන් වගකීමෙන් පලා යෑමට කිසිවිටකත් සූදානම් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියි.

කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top