Mar 13, 2017

පනිට්ටුවට වැසිකිළියන වැලිකඩ බෝඩින් ජීවිත

ලංකාවේ බන්ධනාගාර වල ඇති ගැටලු සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රය කරගනිමින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් හෙළිදරව් කර තිබේ.

එම කමිටුවේ සාමාජිකයින් වන තුෂාර එන්. දස්කොන් හා සේනක පෙරේරා යන නීතීඥයින් හා වැලිකඩ සිර දඬුවම් විඳි සුදේශ් නන්දිමාල් යන තිදෙනා විසින් මේ හෙළිදරව්ව කර ඇත.

අදාළ හෙළිදරව්ව පහත දැක්වේ.

වැලිකඩ බන්ධනාගාරයේ වර්ෂ 2007 ජුනි මස 25 වැනිදා සිට 2014 ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා දේශපාලන රැඳවියෙකු ලෙස රක්ෂිත බන්ධනාගාරයේ දිර්ඝ කාලීනව හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි හේවා දලුගොඩගේ සහන් කීර්ති යන රැඳවියා විසින් විස්තර කළ අත්දැකීම්ද මේ සඳහා පාදකව ඇත.

එසේම බන්ධනාගාරයේ ඉහල නිලධාරින් සමඟ සාකච්ඡා කර රැස්කර ගත් තොරතුරු අනුව මෙම බන්ධනාගාරය හා ලංකාවේ සියලුම බන්ධනාගාර වල ඇති ගැටලු හා පුනරත්ථාපන මුලදර්මයන් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන කරුණු වල සම්පුර්ණ සම්පිණ්ඩනය මේ ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ පිහිටීම හා වපසරිය

කොළඹ 09, බේස්ලයින් පාරට මුහුණලා අක්කර හැටක පමණ භූමිභාගයක් පුරා මෙම බන්ධනාගාර පරිසරය පිහිටා ඇත.
එහි ප්‍රධාන බන්ධනාගාරය හා බන්ධනාගාර මුලස්ථානය පිහිටා තිබේ.

වැලිකඩ බන්ධනාගාරය තුල ඇති රැදවියන් මුහුණ දෙන ගැටලු.

ආහාර හා සනීපාරක්ෂක පහසුකම්

මුලික රඳවා තැබිය හැකි ජාතන්තරව පිලිගත් ක්‍රමවේදයන්නට අනුකූල නොවන ආකාරයෙන් විශාල රැඳවියන් ප්‍රමාණයක් රඳවා සිටින අතර මෙහි ඉඩකඩ ප්‍රමාණය රඳවා සිටින රැධවියන් ගණනට වඩා අතිශයින්ම සීමිතය.

කාමර පහසුකම්

මෙහි කාමරයක වර්ග ප්‍රමාණය 10 X 06 කි. මෙම කාමරයක රඳවා තැබිය හැක්කේ එක් සිරකරුවෙකු පමණක් වුවවත් දැනට රැඳවියන් 3-8 ත් අතර ප්‍රමාණයක් රඳවා සිටී.
එය බන්ධනාගාර ආඥාපනත අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමකි.

තවද මෙම කාමරයක රඳවනු ලබන රැඳවියෙකු සදහා අනිවාර්යෙන්ම පැදුරක් හා කොට්ටයක් ලබා දිය යුතු වුවත් එවැනි දෑ ලබාදෙනු නොලැබේ.

මේ නිසා රැඳවියන් මුහුණපාන ගැටලුව ලෝක නීතියට අනුව පවා මනුෂත්වයට කරනු ලබන අවමානයක් වී අත.

යම් රැඳවියෙකු බන්ධනාගාර ගතකල විට නීතියට අනුව එම සිරකරුට ජම්පර් ඇදුමක් පිගානක් හා කෝපයක් ලබා දිය යුතු වුවත් එවැනි දෑ ලබා දෙනු නොලබයි.
නිදසුනක් ලෙස ඇතැම් රැඳවියන් සිලි සිලි මලු වලට ආහාර ගෙන කෑම කන අවස්ථා අනන්තවත් ඇත.

ආහාර පහසුකම්

සියලු රැඳවියන්ට තුන්වේල කෑම ලබාදෙනු ලබන නමුත් ලබා දෙන ආහාර නියමිත ප්‍රමිතියෙන් හා සමාන ප්‍රමාණයෙන්ම මෙන්ම පෝෂණ ගුණයෙන්ද තොරය.
නිසි පෝෂණයෙන් තොර ආහාර ලබා දෙන නිසා රැඳවියන් කායික හා මානසික රෝගීන් බවට පත්වීම වැලැක්විය නොහැක.

සනීපාරක්ෂක පහසුකම්

වැසිකිළි පහසුකම් රදවා සිටින රැදවියන් ගණනට සමානව කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

නිදසුනක් ලෙස පැයක් වැනි කාලයක් තුල තම ශරීරකෘත්‍ය කර ගැනීමට රැඳවියන් 2500 කට ආසන්න ප්‍රමාණයට ඇත්තේ වැසිකිළි 50 කට ආසන්න ප්‍රමාණයකි.

වැසිකිළි තුල ජල පහසුකම් නොමැති අතර වෙනත් ස්ථානයකින් වතුර පනිට්ටුවක් රැගෙන ගොස් වැසිකිළි යාමට හා මුහුණ සේදීමට සිදුව ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ රදවා සිටින රැඳවියන් හවස 5 ට පමන සිරමැදිරි තුලට ගාල්කල පසු නැවත එම කාමර විවෘත කරනු ලබන්නේ පාන්දර 6ට පමනය.

රැඳවියන් සිරමැදිරි තුල සිටින මුලු රාත්‍රිය පුරා වැකිකිලි හා කැසිලිකි පහුසකම් ලබාගත නොහැකි අතර මුත්‍රා කිරීමට සිදු වන්නේ ප්ලාස්ටික් බෝතල් හා වැලිකඩ බන්ධනාගාරයෙන් ලබාදෙන පනිට්ටුවකටය.
මීට අමතරව වැසිකිළි යාමට සිදුවන විට එය ද එවැනිම ආකාරයෙන් කාමරය තුල පනිට්ටුවකට සිදුකල යුතුය.

එක් රැඳවියෙකු රදවා තැබීමට සාදා ඇති කාමරයක පස්දෙනෙකු හෝ ඊට වැඩි ගනනක් රදවා සිටින විට මේ පිරිස මුලු රාත්‍රිය පහන් කල යුතු ආකාරයේ කටුක බව වචනයෙන් විස්තර කල නොහැක.
ජල පහසුකම්

දිනකට එක් සිරකරුවෙකුට ස්නානය කිරීම සඳහා ලබා දෙන ජලය ප්‍රමානය කිසිසේත් ප්‍රමානවත් නැත.

මේ අයට ලබාදෙන වැලිකඩ බන්ධනාගාරයේ නිෂ්පාදිත සබන් කිසිදු ප්‍රමිතියක් නොමැති අතර රෙදි සේදීමට පවා ඒවා සුදුසු නොමැත.

අධික කෝස්ටික් සෝඩා ප්‍රමානයක් ඇති එම සබන් ඇගේ ගෑ විට හම ගැලවි යයි.

එම සබන් පවා එක් සිරකරුවෙකුට ලබා දෙන්නේ සති දෙකකට එක් කුඩා සබන් කැටයකි.

හිසේ ගාන්නට සති දෙකකට පොල්තෙල් මේස හැන්දක් පමනක් ලබාදෙනු ලබයි.

වෛද්‍ය පහසුකම්

සිරකරුවන් අතර බෝවන රෝග හා චර්ම රෝග බහුලව දක්නට ඇත.

ඊට හේතුව වන්නේ ආහාර වල පෝෂණ ගුනය අඩුකම ඇදුම් පිරිසිදු කිරීමට ඇති අඩු පහසුකම් හා රැඳවියන්ට පිරිසිදුව ඉන්ට තරම් ජල පහසුකම් නොමැති වීමය.

රැඳවියන් දෛනිකව රෝගී වීම එහි සාමාන්‍ය සිද්ධියකි.

බන්ධනාගාරය තුලට දෛනිකව පැමිනෙන වෛද්‍යවරුන් එහි රැදී සිටින්නේ සීමිත වේලාවකි.

තවද මෙම වෛද්‍යවරුන් නියමිත සුදුසුකම් සහිත අය නොවන අතර බන්ධනාගාර රෝහල පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත වන අතර හදිසි රෝගී තත්ත්වයකදි සියලු නෛතික විදි විදාන අනුගමනය කර රෝහලට රැගෙන යන විට පැයකට ආසන්න කාලයක් ගත වන අතර ඒ නිසා බෝහෝ රෝගින් මිය යයි.

බන්ධනාගාරය තුල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැතිකමද බරපතල ගැටලුවකි.

අනිත් අතට බන්ධනාගාර රෝහල තුල සැත්කම් සදහා පහසුකම් මෙන්ම සමහර රෝහලක තිබිය යුතු මුලික පහසුකම් පවා නොමැති නිසා ජාතික රෝහලෙන් එය ලබා ගැනීමට සිදුවෙයි.

එහිදී ජාතික රෝලහට රැඳවියන් ඉදිරිපත් කිරිමේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇති පරිපාලන අඩුපාඩු හා නොසැලකල්ල නිසා ද රැඳවියන් මිය යන අවස්තා ඇත.

බන්ධනාගාරය තුල ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය ඉතා වැඩි අතර ලිංගාශ්‍රිත රෝග බෝවීමට බහුල ඉඩක් ඇත.

රෝගීන් වෙන්කර රඳවා තැබීමේ ක්‍රමයක්ද නැත.

නඩුකටයුතු නිසා සිදුවන අසාධාරනකම්

අධිකරණවලින් ලැබෙන අසාධාරන තීන්දු වලට ලක්වුවන්ට නීති ආධාර ලබා ගැනීමට හැකි නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම නිසා රැඳවියන් දිර්ඝ කාලීනව බන්ධනාගාර ගතවීම.

නිදසුනක් ලෙස මහේස්ත්‍රාත් අධිකරණ විසින් කමිස 12ක් සොරකම් කල අයෙකුට එක් කමිසයකට වසර 2ක බැගින් වසර 24 ක සිර දඩුවමක් ලබා දිම.

මෙවැනි රැඳවියන්ට මුදල් වියදම් කර අභියාචනා කිරිමේ හැකියාවක් ද නැත.

බන්ධනාගාර අඥාපනතේ සිකරකරු ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවීම.

වසර 1994 ට පෙර ක්‍රියාත්මක වු රැඳවියන් පුනරුත්තාපනය කර නැවත සමජගත කිරීමේ ක්‍රමවේදය ඇතුලත් බන්ධනාගාර ආඥා පනතේ 40 වගන්තිය දැනට අක්‍රියව තිබීම.

බන්ධනාගාරයෙන් පිටත වැඩ සහන සඳහා යොදවා ඇති රැඳවියන්ට නියමිත යම් යාවත්කාලීන වැටුපක් ලබා දෙනු ලැබුවද ඒ හා සමාන සේවාවක් බන්ධනාගාරය තුල සේවය කරන රැඳවියන්ට ලබා නොදීම.

එමෙන්ම පුනරුත්තාපනය කරනු ලබන රැඳවියන්ටද තම දඩුවම් කාලය ගෙවා යලි සමාජගත වන්නට ඇති අවස්තාව ඉතා සීමිත වීම නිසාම මේ රැඳවියන්ගේ පවුල් වල අය විශාල අගතියකට මුහුණ දීම.

රැඳවියන් සියලු දෙනාම අධිකරනයෙන් වරදකරුවෙකු කල පසු ඒ අයගේ තරාතිරම කල අපරාදය සලකා ඒ අයට අසාමන ලෙස සැලකීමට බන්ධනාගාර නිලධාරින්ට හැකියාවක් නැත.

කල වරද මත පදනම් වන්නේ නම් අඩුම තරමේ මේ අය වෙන වෙනම රඳවා තැබිය යුතුය.

මේ නිසා අධිකරණයෙන් වරදකරු වු රැඳවියන් බන්ධනාගාරය තුලදි නැවත අනියමින් දඬුවමකට යටත් කිරීම සිදුවීම අසාධාරණය.

අනෙක් අතට මරණීය දන්ඩනයෙන් සිර දඩුවම් ලැබුවන් කිසිදු පුනරුත්තාපන ක්‍රියාදාමයකට යටත් නොවන අතර මේ රැඳවියන් දිර්ඝ කාලයක් නිකරුනේ ගාල්කර තැබීම.

ජනාධිපති විසින් ව්‍යස්ථාවට අනුව ලබාදෙන පොදු සමාව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කල වරද අනුව වර්ග කර ඇතැම් වරදවල් අනුව ජනාධිපති පොදු සමාව අහිමි කිරීමේ කටයුතු සම්පාදනය කිරීම.

තවද මේ වන විටත් මෙම ජනාධිපති පොදු සමාව යටතේ මහින්ද රාජපක්ෂට හිතවත් බොහෝ අපරාධකාරයන් නිදහස් කර තිබෙන අතර අහිංසක කිසිවක් කර කියාගත නොහැකි රැඳවියන් නිකරැනේ අපාදුක් විදීම.

වරප්‍රසාදිත සිරකරැවන් සම්බන්ධයෙන් නැවත සමාලෝචන සිදු කරන නමුදු වෙනත් රැඳවියන් තිරිසන් සතුන් ලෙස ගාල්කර සිටියි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සදහා වන කමිටුව වශයෙන් අප දිගින් දිගටම යහ පාලන රජය දැනුවත් කලද යහ පාලන ආණ්ඩුව ඒ ගැන තඹ දොයිතුවකට මායිම් නොකරයි.

ලංකාවේ බහුතරයක් සිතන්නේ බන්ධනාගාර ගත කරන්නේ වරදකරැවන් නිසා ඔවුන් වෙඩි තබා මැරැවත් ඔවුනට කන්න නොදුන්නත් නාන්න නොදුන්නත් කිසිදු ගැටලුවක් නොවන බවය.

නමුත් අප සැවොම කල්පනා කළ යුත්තේ මේ හිරගෙවල් වල හෙට දින අපට ඉන්නට සිදුවීම සිදුවිය හැකි බව නොවෙද? අප විසින් හෙට දින උදෑසන 10 ට වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්ව යහ පාලන

ආණ්ඩුවට බල කරනු ලබන්නේ සිරකරැවන් මනුෂ්‍යන්යන් බව පිළිගන්නවා නම් බන්ධනාගාර රැදවියන්ට මනුෂ්‍යන්යන්ට හිමි මූලික පහසුකම් හෝ ලබා දෙන ලෙසය.

නැතිනම් බන්ධනාගාර තාප්පයේ ඇති දැන්වීම් පුවරැව සිරකරැවන් අමුනුෂ්‍යයෝය ලෙස වෙනස් කරන ලෙසය.

මානව හිතවාදී සියලු පුරවැසියන්ට හෙට දින වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ අප සමග එක්වන ලෙස අප ඉල්ලා සිටිමු.

අරගලය ජයග්‍රහණය කරන තුරැ නතර නොකරන්නට අප සපථ කරන්නෙමු.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top