Mar 14, 2017

මාණ්ඩලික ප්‍රධානී පත් නොකොට යුධ හමුදාපති රට යයි Featured

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පසුගිය මාර්තු 01 වන දින විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වී තිබෙන එම ධුරය වෙනුවෙන් මේජර් ජෙනරාල්වරු 06 දෙනකුගේ නම් නිර්දේශකර යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (14) උදැසන නිල සංචාරයක් සඳහා නේපාලය බලා පිටත්වගොස් ඇත. ඔහු ලබන 19දා නැවත දිවයිනට පැමිණීමට නියමිතය. 

ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුව බොනිපස් පෙරේරා, උපුල් විතානගේ, සුදන්ත රණසිංහ, මහේෂ් සේනානායක, ජනක වල්ගම හා  උදය පෙරේරා යන මේජර් ජනරාල්වරුන්ගේ නම් එසේ නිර්දේශකර ඇති යුධ හමුදාපතිවරයා, ඔවුන් අතරින් කිසිවකු ගැන විශේෂයෙන් සඳහන් කර නොමැත. 

එහෙත්, එම මේජර් ජනරාල්වරුන් අදාළව සැකසු ලිපිගොනු ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකරන ලෙස හමුදා ලේකම් (MS) මේජර් ජනරාල් ප්‍රියන්ත ජයසුරිය මහතාට උපදෙස්දී ඇත.  

මෙලෙසම යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා ලෙස කටයුතු කල මේජර් ජනරාල් මිලින්ද පිරිස් මහතා විශ්‍රාම ගොස් එම ධුරය පුරප්පාඩුව තිබියදී,  යුධ හමුදාපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේජර් ජනරාල් උභය මැදවල එම ධුරයට පත්කරනු ලැබිය. 

හමුදාව තුළ බලපොරයක් :
මීළඟ හමුදාපති ධුරයට පත් වීමට ඉහළම සුදුසුකම් සැපිරීමක් ලෙස සැලකෙන යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ මේජර් ජනරාල්වරුන් ගණනාවක් මේවනවිට බලවත් සටනක් දියත්කර තිබේ.

සාමාන්‍යයෙන් මෙම තනතුර සඳහා හමුදාපතිවරයා විසින් යුද හමුදාවේ සිටින වඩා සුදුසුම නිලධාරියකු නම් කර යැවීම සම්ප්‍රදාය වූවත් මෙවර 6 දෙනොගේ නාම යෝජනා ලබා දීම හමුදාව තුළ වන බලපොරය පෙන්වන්නක් බව ආරක්ෂක අංශ විචාරකයෝ පෙන්වා දෙති.

යුධ හමුදාපතිගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ සලකා බලා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු මෙතෙක් එම තනතුරට පත්කළේ ජ්‍යෙෂ්ඨතාවය පදනම් කර ගනිමිනි.

යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මේජර් ජනරාල් බොනිපස් පෙරේරා ඉදිරියෙන් සිටින අතර, මේජර් ජෙනරාල් තනතුරට පත්ව ඇති ජ්‍යෙෂ්ඨතමයා වන්නේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකය. 

එම තත්වය තුල ආගමික නායකයින් කිහිප දෙනෙකුම මේජර් ජනරාල් බොනිපස් පෙරේරාට එම තනතුර ලබාදෙන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කර ඇති අතර, ඇමතිවරුන් රාශියක් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක එම ධුරයට පත් කරන්නැයි ඉල්ලා තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. 

සබැඳි පුවත් :
හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පොරයක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top