Mar 16, 2017

‘ඒ ඒ කැවුම් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි අවශ්‍යයි' - දඹර අමිල හිමි Featured

කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ.

අවස්ථාව සලකා බලා අවස්ථාවට උචිත විසඳුම් සෙවීමට වග බලා ගත යුතු යැයි බුදු රජාණන් වහන්සේ වදාරා ඇති බවත් එය සිංහලෙන් කියන්නේ නම් ‘ඒ ඒ කැවුම් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි‘ යැයි හෝ ‘තැනේ හැටියට ඇනේ ගහන්න යැයි පැරණි කියමන් සේ කිසිවෙකුත් වෙනම රාජ්‍යයක් නොඉල්ලන මේ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආය යුතු හොඳම අවස්ථාව'' උන්වහන්සේ පැවසුහ.

දඹර අමිල හිමියන් ඒ බව පැවසුවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා වන ජාතික ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (15) පැවැත්වූ මහජන හමුවක් අමතමිනි.

සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ එහිදී සඳහන් කළහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, ඇමැතිවරුන් වන සරත් ෆොන්සේකා, මංගල සමරවීර සහ මහින්ද අමරවීර මහත්වරුද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

‘දැන් ආගමික සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ජාතින් අතර සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ඇඳුම් පැළැඳුම් විවිධත්වය හොඳ බව නිතර කියනවා. ඒ වගේම තමයි ජාතීන් අතර විවිධත්වයත් ඉතා හොඳයි..

දෙමළ ජනතාව දැන් වෙනම රටක් ඉල්ලන්නෙත් නෑ. මුස්ලිම් ජනතාව ඉල්ලන්නෙත් නෑ. විදෙස් රටවල් අපට දැන් වෙට්ටු දාන්නෙත් නෑ. මේ කාලය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න හොඳම කාලේ“ යැයි ද දඹර අමිල හිමියෝ වැඩිදුරටත් කීහ.

අනාගතයක් නැති දේශපාලනඥයන් :

මෙහිදී සභාව ඇමතු නීතීඥ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය.

‘අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ අනාගතයක් නැති දේශපාලනඥයන්. හිටපු ජනාධිපතිටත් දේශපාලන අනාගතයක් නෑ. ඒ නිසා තමයි ඔහුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අපොදු අපේක්ෂකයා වීමට පෙර අපි සමඟ කටයුතු කළේ නෑ. අපි සමග කිසිම විරෝධතාවයකට ආවේ නෑ. නමුත්  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එන්න කොන්දක් තිබුණු නිසා අපි ඔහුට ගරු කරනවා.

අපි ජනාධිපතිවරයාට කියන්නේ පොරොන්දු ඉෂ්ඨ කරන්න කියලයි. දෙමළ ජනතාවටත් පිළිගත හැකි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.‘

ශ්‍රීලනිපයට බැහැ කියන්න බැහැ :

 කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා සභාව අමතමින් මෙසේ පැවසිය.

‘1994 වසරේ මහ මැතිවරණය අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව. (එහි වගන්ති කිහිපයක් කියවයි)

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්න බැහැ අලුත් ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ කියලා. එදා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් චන්ද්‍රිකා මහත්මිය ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපය ඊට විරුද්ධ වුණා.

උත්ප්‍රාසය වන්නේ එදා විරුද්ධ වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්න පෙරමුණ ගැනීමයි. එය දෛවයේ සරදමක් ලෙස අපි කියන්නේ නෑ. එදා ශ්‍රීලනිපයට නොලැබුණු සහයෝගය අද ලැබී තිබෙනවා. මේ අවස්ථාව මග හැරියොත් අපට අනාගතයක් නෑ. ‘

කඩාකප්පල්කාරීන් :

බෝහෝ අවස්ථාවල ජාතික ව්‍යාපාර නම භාවිත කරන්නේ ජාති බේද ඇති කරන වැඩ වලට බව නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කීවේය.

1978 විධායක ජනාධිපතික්‍රමය ඇති කිරීමෙන් පසු මහජන ඡන්දයකින් ගෙදර යැවූ එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ගුණවර්ධන මහතා පැවසීය.

 රැස්වීම කඩාකප්පල් කරන්නට සැලසුම් සහගතව පැමිණ සිටි කිහිප දෙනෙකුද සිටි අතර අයෙක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය රැස්වීම ශාලාවට ඇතුළු වෙද්දී එක් අයෙකු ඇයට හූ කීවාය.

නීතීඥ ජේ සී වැලිඅමුණ, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, උදේනි දිසානායක සහ සමන් රත්නප්‍රිය මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

 ශ්‍රිලනිපයේ තීන්දුව ?

මේ අතර පසුගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට නොයා යුතු බවට ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර තිබේ.

විසිවන සංශෝධනය විනා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනවරමක් කිසිඳු පක්ෂයකට නොලැබී ඇති බවත් ඒ නිසා අලුත් ව්‍යවස්ථාව ගෙන ආවොත් රට අවුලින් අවුලට යා හැකි බවත් ඔවුන් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා දීර්ග වශයෙන් කරුණු දක්වා තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට සිදුකළ පොරොන්දුව ගැනද අවධනාය  යොමුකරණ ලෙසට එම ඇමතිවරුන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.

ඡායා-ලංකාදීප

Dmbaraamila 1

Dmbaraamila 2

Dmbaraamila 3

dambaraamilatero

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top