nsb

Mar 16, 2017

රුප්පාගොඩ හිමිගේ තැන්පතුවට විදින්න නේෂන් ලංකා අරඅදියි

යක්කල ප්‍රදේශයේ මන්ත්‍රගුරුකම් කළ ප්‍රකට හිමිනමක් වන රුප්පාගොඩ හිමියන් විසින් තැන්පත් කරන ලද කෝටි ගණනක මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම උත්සාහ කරමින් සිටින බවට පැමිණිල්ලක් මහ බැංකුවට ලැබී ඇතැයි වාර්තාවේ.

කෝටිපති හිමිනමක් වූ අපවත්වී වදාළ රුප්පාගොඩ හිමියන්‍ අදාළ සමාගමෙහි මෙම මුදල් තැන්පත් කර ඇත්තේ සිය අපවත් වීමෙන් පසුව එම මූදල් තමාගේ ඥාති කාන්තාවකට සහ ඇගේ දරු දෙදෙනාට හිමිවන අයුරිනි.

කෙසේවුවද, මේ වන විට අපවත්වී වදාළ රුප්පාගොඩ හිමියන්ගේ ගෝල හිමිනමක් සහ නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම එම කෝටි ගණනක මුදල් බෙදා ගැනීමට උත්සාහ දරමින් සිටින බවට රාවයක් පවතී.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගමෙහි පාරිභෝගික සේවා කළමනාකාරිනිය වන ඩයනා මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර ඇය සිය අසුනේ නොමැති බව අපගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් නිළධාරිනියක කියා සිටියාය.

පසුව අප කාරණාව සම්බන්ධයෙන් ඇය දැනුවත් කිරීමෙන් පසු ඇය ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් තොරතුරු දිය නොහැකි බවත්, තොරතුරු ලබා ගැනීමට සිය ආයතනයේ මිලින්ද රූපසිංහ නැමැති අය හමුවන ලෙසත් කියා සිටියේය.

ඔහු හමුවන්නට දිනයක් වේලාවක් අප ඒ මොහොතේම වෙන්කරගත්තද ඉන් පසුව පෙර දුරකථනයට පිළිතුරු දුන් කාන්තාව  නැවත වරක් අපවෙත ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ සිය ආයතනයේ තොරතුරු ලබාදිය නොහැකි නිසා මිලින්ද අප හමුවීමට හැකියාවක් නොමැති බව පවසන බවයි.

පසුව අප කළ සොයා බැලීමකදී දැනගත හැකිවූයේ නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගමේ, ජයන්ත ධර්මදාස, ජයප්‍රකාශ් රුද්ද්‍රා, වික්ටර් රාමනාන්, හර්ෂිත් ධර්මදාස, ලලිත් කරුණාරත්න ,කේ.එම්.එස් කන්දෙගෙදර හා ජයන්ත පෙරේරා යන මහත්වරුන් අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top