nsb

Mar 16, 2017

පැහැරගත් නෞකාව: වෙඩි හුවමාරුවක්

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව පැහැරගත් සෝමාලියානු කොල්ලකරුවන් සහ සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් පළාතේ නාවික හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇතැයි 'බීබීසී සංදේශය වාර්තා කරයි.

පැහැරගත් නෞකාව දෙසට යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් නතර කිරීමට තම බලකාය උත්සාහ කරනු ලැබූ අවස්ථාවේදී නෞකාව තුළ සිටින කොල්ලකරුවන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සමුද්‍රීය බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් අබ්දිරහ්මන් මොහමුඩ් හසන් කියා සිටියි.

කොල්ලකරුවන්ට ආහාර සැපයීම සඳහා එම බෝට්ටුව පැමිණ ඇති අතර වෙඩි හුවමාරුව සිදුවෙන අතරතුර ඔවුන් පලාගොස් ඇත.

'ඒරිස් 13' නෞකාව මේවන විට නැංගුරම් ලා ඇත්තේ සෝමාලියාවේ අලුලා නගරයට නුදුරු මුහුදු තීරයේ ය

කප්පම් දීමට සුදානම් :

මේ අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන නෞකාවේ සිටින ශ්‍රී ලාංකික නැවියන් අට දෙනා බේරා ගැනිමට අවශ්‍ය නම් කප්පම් මුදල් වුවද ලබා දිමට සූදානම් බව අදාළ නැවෙහි ලියාපදිංචි සමාගම පවසයි.

එම සමාගමේ දේශිය නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නැවියන් පස් දෙනෙකු සම්බන්ධයෙන් පමණක් තම සමාගම වගකියන බවයි.

එම නැවියන් පස් දෙනා තම සමාගම යටතේ ලියාපදිංචි වී ඇති බවත් සෙසු නැවියන් තිදෙනා එලෙස ලියාපදිංචි වී නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කෙරින.

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අටදෙනෙකු සමඟ මෙම නෞකාව පසුගිය 13 වනදා පැහැරගැනීමට ලක්වූයේ ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා ගමන් කරමින් සිටියදීය.

නම් ගම් හෙළිවෙයි :

පැහැරගනු ලැබූ නෞකාවේ සිටි ලාංකිකයන්ගේ නම් වන්නේ නෞකාවේ කපිතාන්වරයා වන නිකලස් ඇන්තනී ( කාක දූපත ), නෞකාවේ ප්‍රධාන නිලධාරි රුවන් සම්පත් ( මතුගම), නෞකාවේ තෙවන නිලධාරි දිලීප රණවීර (ගාල්ල) , සුනිල් පෙරේරා (කඳාන), නාවික නිලධාරි ලහිරු ඉදුනිල් විදානපතිරණ (අකුරැස්ස), ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල (හොරණ) , එහි තෙවැනි ඉංජිනේරු ජනක සමේන්ද්‍ර (දෙවිනුවර) ,අරක්කැමි ඒ.ෂන්මුගම් (මීගමුව) යන මහත්වරුන්ය.

මේ වන විට ඔවුන් කොල්ලකරුවන් ග්‍රහණයේ පසුවෙති.

මේ අතර සෝමාලි කොල්ලකරුවන් ගේ අත්අඩංගුවේ සිටින මෙම ලාංකික නැවියන් ගැන කෙන්යාවෙ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තොරතුරු සොයා බලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top