Mar 17, 2017

හමුදාව පවා දෙන ලොකුම ලියවිල්ල ? (වීඩියෝ) Featured

යුද අපරාධ සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් නම් කොට ඇති හමුදා බලඇණියකට  අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් තම අත්දැකීම් ලියා ඇති ග්‍රන්ථයෙන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවට එරෙහි චෝදනා සනාථ වන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා පිළිගත්තේය.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ප්‍රකාශයට පත් කොට ඇති “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” නම් පොතේ ඉංග්‍රීසි පිටපතකින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් උපුටා දක්වන ලද කොටස් වලින් හෙළි වුනේ යුද හමුදා භටයන් නිරායුද වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ ආකාරයයි.

“නන්දිකඩාල් නෙමෙයි, ගෙවල්කඩාල් හන්දිකඩාල්” යයි අමාත්‍යවරයා උපහාසයෙන් යුතුව එම පොත හඳුන්වා දුන්නේ ඊයේ (16 ) විදේශ අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

kamal and mahinda

සෙන්පතිගේ ලැජ්ජාව :

යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට නගරය දෙසට ගිය හමුදා සෙබළුන් පිරිසක් “තම සටන් සගයාගේ මරණයට එරෙහිව පලි ගැනීම සඳහා පුද්ගලික දේපල විනාශ කරමින් නීති විරෝධී අයුරින් හැසිරෙන ආකාරය දැකීම මට තෘප්තියක් ගෙන දුන් බව පිළිගනිමි,” යි මේජර් ජෙනරාල් ලියා තිබෙනු අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලදී .

යුද හමුදා සෙබළුන් විසින් නිවාස සහ පුද්ගලික දේපල ගිනි තබනු බලා සිටි ආකාරය සම්බන්ධයෙන් කමල් ගුණරත්න ලියා ඇත්තේ,  “ආපසු හැරී බලන විට කිසිවකු මේ සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම ගැන මට ලජ්ජා සිතුනි,” යි යනුවෙනි.

“මේ යකාත් බලන් ඉඳල දැන් කියනවා ලජ්ජා හිතුනයි කියලා,” යි අමාත්‍යවරයා කියා සිටියේය.

හමුදා නිලධාරියා විසින් හෙළි කරන කාරනා සිදුවූ බව පිළිගැනීමට සිදුවන බව ඔහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් අපරාධකරුවන් මෙන්ම ඒ සෙබළුන් සහ නිලධාරීන්ට අණ දීමේ වගකීම දරන සෙන්පතියන් ද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා යුක්තිය ඉටු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන රජයෙන් කර ඇති ඉල්ලීමකි.

වැරදි කළ අයට දඬුවම් :

“අපරාධ කරන්නට අණ දුන් අය සහ වැරදි කළ අයට දඬුවම් දීම වැරදි නැහැ,” යි තම එකඟතාව පල කළ විදේශ අමාත්‍යවරයා යුද හමුදාව ආයතනයක් ලෙසින් අපරාධ කළ බව ප්‍රතික්ෂේප කළේය.

“කුණු බිත්තර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ අය කවුද කියලා හඳුනාගැනීමෙන් විතරයි  අපේ මේ ශ්‍රේෂ්ඨ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කීර්ති නාමය ආරක්ෂා කරන්න පුළුවන්.”

කෙසේ වෙතත්, යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් සහභාගි කර ගැනීම සඳහා ඇති ඉඩකඩ ජාත්‍යන්තර සභා වලදී බැහැර කර නොමැති අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ එය “නිර්දේශයක් පමණක්” බවයි.

විකල්ප යාන්ත්‍රණයක් :

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අධිකරණය කෙරෙහි දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බිඳී තිබුණු විශ්වාසය නැවත ගොඩ නැගෙමින් පවතින බවට සුබවාදී මතයක් පලකළ විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නිර්දේශය අත්‍යාවශ්‍ය කොන්දේසියක් නොවන බව කියා සිටියේය.

යුද අපරාධ විභාග කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි විකල්ප යාන්ත්‍රණ පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව මාධ්‍ය වේදීන් හමුවේ දැනුම් දුන්  විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් සලසා දීමට නියමිත අමතර දෙවසරක කාලය තුලදී රටට සංහිඳියාව උදා කර දීමේ හැකියාව ගැන විශ්වාසය පල කළේය.

රජයට ජාත්‍යන්තර තලයේ ලැබී ඇති පිළිගැනීම සම්බන්ධයෙන් ඉරිසියාවෙන් පෙලෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් හිටපු හමුදා සෙන්පතියන් කිහිපදෙනකුගෙන්ද සමන්විත බලවේග ජාතිවාදය අවුස්සමින් රට අන්ධකාර යුගයකට ආපසු ගෙනයන්නට වීරිය දරන බවට අමාත්‍යවරයා අනතුරු අඟවා සිටියේය.

ජෝසප් කඳවුර :

වවුනියාව ජෝසප් කඳවුරේ වධකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජිනීවා නුවරදී කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණෙන ලෙස තමන් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ට ආරාධනය කරන බවයි.


(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top