nsb

Mar 17, 2017

කෝටි 500ක පාඩුවක්‌ : රනිල්ට ඒකාබද්ධයෙන් චෝදනා

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයට ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩර් වංචාවකින් රජයට රුපියල් කෝටි 500 කට ආසන්න පාඩුවක්‌ සිදු කළ බවට චෝදනා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු තවත් නිලධාරීන් තිදෙනකුට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඊයේ (16 දා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබිණි.

අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක ආර්. පාස්‌කරලිංගම්, චරිත රත්වත්තේ සහ එම ටෙන්ඩරය සඳහා පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ ලේකම් සුරේන් බටගොඩ යන මහත්වරුන්ටද මෙම පැමිණිල්ල මඟින් චෝදනා ගොනු කර තිබුණි.

මෙම පැමිණිල්ල ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු කිහිප දෙනකු විසින් ඉදිරිපත් කරන ලදී.

2015 අප්‍රේල් මාසයේදී ගල්අඟුරු ටෙන්ඩර් කැඳවීමේදී මෙම වංචාව සිදුව ඇති බවට චෝදනා කරමින් ඊට අදාළ ලිපි ලේඛන සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පැමිණිලි කිරීමට පෙර බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (16 දා) පැවැති ඒකාබද්ධ විපක්‌ෂ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙම කරුණු සඳහන් කළේය.

යහපාලන ආණ්‌aඩුවේ වංචා දූෂණ හෙළි කිරීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය විසින් ආරම්භ කරන ලද ටොප් ටෙන් වැඩසටහන යටතේ ඊයේ දහවන පැමිණිල්ල ලෙස මෙය ඉදිරිපත් කරන ලදී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top