nsb

Mar 17, 2017

සමයංගේ බඩු බිරියට දෙන්නැයි නියෝගයක්

පාතාල නායක කඩුවෙල සමයං නොහොත් උඳුගොඩ පතිරන්නැහැලාගේ අරුණ උදයන්ත පැළඳ සිටි බව කියන රන් මුදුව හා රිදී මුදු ඔහුගේ භාර්යාව වන කේ. පී. සුගන්දි කල්දේරා නමැත්තියට භාරදෙන ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

උතුරු කළුතර පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම භාණ්‌ඩ භාරදීමට මහෙස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.

යම්කිසි රැඳවියකු හෝ සිරකරුවකු බන්ධනාගාරගත වීමෙන් පසු කිසිදු ආභරණයක්‌ පැළඳගෙන සිටීම තහනම් බවත්, එහෙත් සමයාං මෙසේ රන් භාණ්‌ඩ පැළඳ සිටියේ කෙසේද යන්න මේවන විට ගැටලුවක් වී තිබේ.

සමයං ගෙදරට කෝලුත් අරං

සමයං ඇතුළු පස්‌දෙනා බන්ධනාගාරයේ සිට තමන්ට ජංගම දුරකථනවලින් අමතන බව ඔවුන්ගේ බිරින්දැවරුන්, ඥතීහු ඊයේ 16 දා සවස කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී පැවැත්වූ මරණ පරීක්‍ෂණයේ දී කියා සිටියහ.

මියගිය රැඳවියන් ජංගම දුරකථන සඳහා රීලෝඩ් දමන ලෙසත්, බන්ධනාගාර නිලධාරීන්ට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස දන්වන බව මෙම මරණ පරීක්‍ෂණ සාක්‍ෂිවලින් අනාවරණය වී තිබේ.

ඡේලර් මහත්තයාගේ දුරකථනයෙන් කතා කළේ යෑයි තම සැමියන් පවසන බවද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියන් ජීවිතාරක්‍ෂාව සඳහා කළුතර බන්ධනාගාරයට මාරු කළ බවද බිරින්දැවරු, ඥතීන් මෙහිදී ප්‍රකාශ කළහ.

බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන හුවමාරුව නිසා මෙම මරණ සිදුවූ බවද ඔවුහු ප්‍රකාශ කළ අතර පොලිසිය නිසි ආරක්‍ෂාව සැපයීමට ක්‍රියා කළේ නම් මෙම මරණ සිදු නොවන බව ඔවුහු එහිදී කියා සිටියහ.

මේ අතර, රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාවට ලක්‌වූ වෙඩි වැදුණ බන්ධනාගාර බස්‌ රථයන් බන්ධනාගාරයට භාරදීමට විනිසුරුවරිය නියෝග කළාය.

දුරකථන කීපයක්‌ පිළිබඳව පරීක්‍ෂණ වාර්තා ලබා ගැනීමට නියෝග ලබා ගැනීමට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වූ විනිසුරුවරිය දුරකථන සමාගම්වලට නියෝග නිකුත් කළාය.

බන්ධනාගාර නිලධාරීන් මෙදින සාක්‍ෂි දීමට නොපැමිණි නිසා වැඩිදුර සාක්‍ෂි විභාගය මාර්තු මස 24 වැනිදා දක්‌වා කල් තැබිණි.

මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍ර පත්මලාල්, කළුතර උතුර පොලිසියේ ස්‌ථානාධිපති සාවින්ද අමරසේකර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

කළුතර අධිකරණ සංකීර්ණය අවට දැඩි පොලිස්‌ රැකවල් යොදවා තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top