Mar 17, 2017

යෝෂිතගේ ඉඩම බේරාගන්න බලපෑම් Featured

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් මිල දී ගෙන, පසුව රාජ්‍ය බැංකුවකට උකස් තබා ණය මුදලක් ලබා ගෙන ඇති, මුදල් විශුද්ධිකරණ වරදක් යටතට වැටෙන ඉඩමක් යළිත් ගැනුම්කරුවකුට මුදාහරින ලෙස ආණ්ඩුවේ ඉහළ පෙළේ කාර්යාලයක නිලධාරියකුගෙන් හා රජයේ ඉහළ පුද්ගලයකුගේ ඥාතියකුගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ* ජුබිලි කණුව පාරේ 'මැක්ස් ටීවී' නමින් රූපවාහිනී හා ගුවන්විදුලි ආයතනයක් පවත්වාගෙන යන ලද මහින්ද රාමනායක නම් පුද්ගලයකුට අයත් මෙම ගොඩනැගිල්ල හා ඉඩම, යෝෂිත රාජපක්ෂ මහතා විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් මිලියන 65කටය.

මෙම මුදල ද ඉඩමේ නියමිත වටිනාකම අඩුවෙන් තක්සේරු කොට මිල දී ගැනීමක් බවට තොරතුරු ලැබී තිබේ.

පසුව මෙම දේපළ රාජ්‍ය බැංකුවකට උගස් තබා රුපියල් මිලියන 79ක ණය මුදලක් යෝෂිත රාජපක්ෂ මහතා ගෙන තිබේ.


කළු සල්ලිවලින් ?

දේපළ මිල දී ගෙන ඇත්තේ කළු සල්ලිවලින් බවට පැමිණිලි ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, එම දේපළ වෙනුවෙන් බැංකුව ලබා දුන් ණය මුදල පියවාගෙන ඉතිරි මුදල රජයට ලබා ගැනීම සඳහා දේපළ වෙන්දේසි කිරීමේ නියෝගයක් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත්තේය.

එහෙත් කුමන හේ හේතුවක් නිසා, නියම කාලයට දේපළ වෙන්දේසි කිරීමට බැංකුව පියවර ගෙන තිබුණේ නැත.

යතුර ජොන්ස්ටන් ළඟ :

ඒ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා වී ඇත්තේ ගොඩනැගිල්ලේ යතුරු හිටපු ඇමැතිවරයකු වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත තිබෙන බවයි.

මේ අතර, රුපියල් මිලියන 79කට ලියන ලද චෙක්පතක් රැගෙන අදාළ බැංකුවට පැමිණි පුද්ගලයකු බැංකුවේ ණය ගෙවා දේපළ බේරාගැනීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.

එහෙත් බැංකුවේ මතය වී ඇත්තේ, දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් තිබෙන බැවින් කිසිවකුට ණය මුදල පියවා දේපළ නිදහස් කරගත නොහැකි බවයි.

දැන් ආණ්ඩුවේ ඉහළම පෙළේ කාර්යාලයක නිලධාරීයා සහ රජයේ ඉහළ පුද්ගලයාගේ ඥාතියා මේ සඳහා මැදිහත් වී තිබෙන අතර, මෙම දේපළ අදාළ මුදල රැගෙන එන පුද්ගලයාට මුදාහරින ලෙස ඔවුන් දෙදෙනා රාජ්‍ය බැංකුවට බලපෑම් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.


(රාවය )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top