nsb

Mar 18, 2017

කාර් පර්මිට් විකුණුව ඇමති මන්ත්‍රී ලයිස්තුව මෙන්න Featured

Exclusive - තමන්ට හිමිවූ තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණන ලද ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ නම් ලයිස්තුවක් අප වෙත ලැබී තිබේ.
 
අදාළ ලයිස්තුව පහත දැක්වේ.
carpermit1
carpermit2
 
 සිය තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණූ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු සිටින බව මුලින්ම අනාවරණය වූයේ පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණයේදීය.
 
ඒ තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් විනිසුරුවන් වන සිසිර ද ආබෲ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම්දීමත් සමඟය.
 
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ බව දැනුම්දෙනු ලැබුවේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට අයුතු ලාභ ලබා ඇති මන්ත්‍රීවරු පිරිසකට එරෙහිව තමා විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
 
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙසට පැමිණිලිකාර නීතිඥවරයාගෙන් ඉල්ලා සිටියේය. 
 
කෙසේවුවද, වගඋත්තරකාර අල්ලස් කොමිෂන් සභාව විසින් ලබාදෙන එම ‍පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් නොමැති බව පැමිණිලිකාර නීතිඥවරයා පෙන්වා දීම නිසා එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 09 වැනිදා කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියෝග කළේය.
 
2014 වසරෙදී තමා එම පැමිණිල්ල කරනවිට මන්ත්‍රීවරුන් 24 දෙනකු ඔවුන්ට ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට ඇති බවට තොරතුරු අනාවරණය වූ නමුත් මේ වන විට එලෙස වාහන බලපත්‍ර අලෙවි කළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ නැග ඇති බවත් තමා ඒ සියලු තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
එමගින් රජයට රුපියල් බිලියන 7කට අධික පාඩුවක් සිදුවි ඇතැයි ද නීතිඥවරයා එහිදි අධිකරණයට පෙන්වා දුන්නේය.
 
වසර 10ක් හිරේ
 
මෙසේ සිය වාහන බලපත්‍ර විකුණූ අය අල්ලස් පනතේ 70 වැනි වගන්තියට අනුව තමන්ගේ ධූරයේ කාර්‍යට ලැබෙන වරප්‍රසාද වෙනත් අයවෙත ලබාදීම නිසා වරදක් කර ඇති බව පැවසෙන අතර මේ වැරැද්ද සඳහා වරදකරුවන අයට හිමිවන අවම දඬුවම වසර 10ක සිරදඬුවම් බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top