Mar 18, 2017

ජේලර්ලාටත් STF පුහුණුව

බරපතළ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණ වෙත රැගෙන යෑමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පුහුණුව ලත් බන්ධනාගාර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 මේ සඳහා දැනට දිවයින පුරා බන්ධනාගාරවල රාජකාරි කරන සුදුසුකම් සහිත නිලධාරීන් මෙන්ම අලුතින් බඳවාගන්නා නව නියාමකවරුන් ද යොදාගන්නා බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අනුව 2017 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නවක නියාමකවරුන් 800ක් පමණ බඳවා ගැනීමට නියමිත අතර එයින් තෝරාගන්නා අය ද මෙම විශේෂ ඒකකයට ඇතුළත් කරති.

මෙම බන්ධනාගාර නිලධාරීන් විශේෂිත එස්. ටී. එෆ්. පුහුණුව ලබාදීමට පොලිස්පතිවරයා කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව පුහුණුව ලැබු මොවුන් දිවයින පුරා පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර 23කට යොදවන බව උපුල්දෙණිය මහතා අවධාරණය කරයි.

බරපතළ ගණයේ අපරාධකරුවන්  සිරකරුවන් ලෙස ගෙන යාමේදී හා ගෙන ඒමේදී පුළුල් ආරක්ෂාවක් ලබාදිය යුතුව ඇති බව සමයං ඇතුළු පිරිසක් ඝාතනය වීම සමඟ දැඩි කතා බහට ලක්විය.

මේ අනුව ඉදිරියේදී එස්. ටී. එෆ්. පුහුණුව ලත් අවි පුහුණු බන්ධනාගාර නිලධාරීන් 200ක කණ්ඩායමක් දිවයින පුරා පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර 23කට යොදවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top