Mar 18, 2017

උතුරේ ගිනි පොලී මර උගුලක් සියදිවි නසා ගැනීම් ඉහළට

යුද්ධයෙන් පසුව උතුරේ ජන ජීවිත නඟා සිටුවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් නොවීම මත ණය බරින් පීඩා විඳින උතුරේ වැසියන් දිවි නසා ගැනීමට පෙලඹී ඇති බව වාර්තා වේ.

ස්වයං රැකියා සහ වගා කටයුතු වෙනුවෙන් විවිධ මූල්‍ය ආයතනවලින් අධි පොලියට ණය ලබා දීම විශාල පරිමාණයෙන් පසුගිය කාලයෙහි සිදුව තිබේ.

විශේෂයෙන් යුද්ධය නිසා සැමියා හෝ පවුලේ පිරිමි අය අහිමි පවුල්වල කාන්තාවන් වැඩි වශයෙන් මෙලෙස ණය ලබා ගැනීමට පෙලඹී ඇත.

පසුගිය ජනවාරි මාසයේ දී ස්වයං රැකියාවක් සඳහා ණය ලබා ගත් 32 හැවිරිදි තිදරු කාන්තාවක් ණය ගෙවා ගැනීමට නොහැකි වූ බව ලියා තබමින් දිවි තොර කරගෙන තිබිණි.

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයෙහි ජීවත් වූ ඇය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගෙන් සහ වාණිජ බැංකු කිහිපයකින් කුඩා ප්‍රමාණයන්ගෙන් ණය ලබාගෙන තිබිණි.

 ණය සහ පොලී වශයෙන් ඇයට ගෙවීමට තිබුණේ රුපියල් අසූදහසක තරම් මුදලකි.

මෙලෙස පසුගිය පෙබරවාරි මාසයේ දී පුදුකුදිරිප්පුවේ සිවලිංගම් සත්‍යේන්ද්‍රන් නම් පස්දරු පියෙකු ණය ගෙවා ගැනීමට නොහැකිව දිවි තොර කරගෙන තිබිණි.

 ඒ ලක්ෂ 2 ක මුදලක් ගෙවා ගැනීමට නොහැකිවය.

ඕමන්ත ප්‍රදේශයේ 23 හැවිරිදි නාගේන්ද්‍රන් සුගන්ධනී නම් කාන්තාවක් සිය අවුරුදු දෙකහමාරේ දරුවා ද සමඟ දිවි නසාගෙන තිබුණේ ණය ගෙවා ගැනීමට නොහැකි වීමේ සිත් වේදනාවෙනි.

ආවා ගෲප් :

මෙම දුෂ්කර ප්‍රදේශවලින් තවත් මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති අතර ණය ගෙවා ගැනීමට නොහැකි අයට ණය එකතු කිරීමේ නිලධාරීන්ගේ පහර කෑමට සිදු වූ අවස්ථා ගණනාවක් ද වාර්තා වී තිබේ.

පසුගිය කාලයෙහි ආවා ගෲප් නමින් හැඳින් වූ මැර කල්ලි බිහි වීම පිටුපස ද ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සිටි බවට හෙළිව තිබිණි.

 කල්ලි, ණය එකතු කිරීම සඳහා එම ආයතන විසින් නිර්මාණය කර ගත් බවට ද තොරතුරු වාර්තා වී ඇත.

මහ බැංකුව පිළිගනී :

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව මෙරට රජයෙන් ඉල්ලා සිටියේ මේ තත්ත්වය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙසය.

මේ තත්ත්වය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙන අතර පසුගිය දා වව්නියාව නගර මධ්‍යයේ පැවති ණයකාරියන්ගේ උද්ඝෝෂණයේ දී එහි සටන් පාඨයන්ව තිබුණේ, ‘යුද්ධ කාලේ තුවක්කු, යහපාලන කාලේ ණය’, ‘ක්ෂුද්‍ර ණය මරු වැලකි’, ‘ණය දී හාමත් කරනු එපා’ යනාදියයි.

උතුරේ ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ඉහළ පොලී යටතේ ලබා දෙන ණය සම්බන්ධයෙන් මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව පිළිගෙන තිබිණි.


ඩී. මංජුල කුමාර (මූලාශ්‍රය - radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top