nsb

Mar 18, 2017

දින 100 ආණ්ඩුවේ පළමු ආයෝජකයාට ලංකාව එපා වෙලා ! Featured

ඉඩම් අමාත්‍යාංශයේ බලධාරීන් විසින් වසරකට අධික කාලයක් තිස්සේ ආයෝජන සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් පවරා නොදීම හේතුවෙන් ‘දින 100 ආණ්ඩුව’ සමයේ මෙරටට පැමිණ ගිවිසුම්ගත වූ පළමු ආයෝජකයා වන MS Sugar Lanka සමාගමට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

අප වෙත වාර්තා වන අන්දමට MS Sugar Lanka සමාගම 2015 වසරේ දී මෙරටට පැමිණ ඇත්තේ කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුමක් හරහා වන අතර ඍජු විදෙස් ආයෝජනයක් වූ එහි වටිනාකම රුපියල් මිලියන 15,000කි.

එම ගිවිසුම අනුව අක්කර 500ක ඉඩම් ප්‍රමාණයක් MS Sugar Lanka සමාගමට හිමි වන අතර ඒ වසර 30ක කාලයක් සඳහාය.

එහි දී මේ වන විට අබලන් තත්ත්වයේ ඇති කන්තලේ සීනි කර්මාන්තායතනය මුළුමනින්ම අලු‍තින් ඉදිකිරීමට ද සමාගම ගිවිසුම්ගතව ඇති අතර 2016 අගෝස්තු මාසය වන විට ආයෝජන සංවර්ධන කටයුත්ත ඇරඹීම සඳහා සමාගමේ පාර්ශ්වයෙන් සිදු විය යුතු සියලු‍ කාරණා සපුරා ඇත.

ඉඩම් අමාත්‍යංශයෙන් බාල්දියක් :

එම සමය තුළ ඉඩම් අමාත්‍යාංශය හැර අනෙක් සියලු‍ රාජ්‍ය අංශ ද ආයෝජනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ලබා දී ඇත.

නමුත් ඉඩම් අමාත්‍යාංශය විසින් ආයෝජනය සඳහා වෙන් කෙරුණු ඉඩම පවරා දීම අත්හිටුවා තිබීම සම්බන්ධව සමාගම දිගින් දිගටම කරුණු විමසා ඇති නමුත් ඒ සම්බන්ධව නිශ්චිත කරුණු දැක්වීමක් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සිදුව නැත.

මේ හේතුවෙන් තමන් මුහුණ දී ඇති දුෂ්කරතාව පිළිබඳ MS Sugar Lanka සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන විදෙස් ජාතිකයන් විසින් පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනකු වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර එහි දී නව ආණ්ඩුව බලයට පත්වීමෙන් විදෙස් ආයෝජකයන්ට සිදු කළ විවෘත ආරාධනය පිළිගනිමින් පැමිණි තම සමාගමට සිදු කරන අසාධාරණය පිළිබඳ බලවත් කලකිරීමෙන් යුතුව කරුණු දක්වා ඇති බව ද දැනගන්නට ඇත.

අප කළ විමසුමක දී අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ද මේ බව සනාථ කළ අතර අග්‍රාමාත්‍යවරයා පසුගිය බදාදා (මාර්තු 15) මීට අදාළ සියලු‍ පාර්ශ්ව කැඳවා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව කඩිනමින් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උපදෙස් ලබා දුන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.

නෛතික ගැටලු ?

මේ සම්බන්ධව අප ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අයි. එච්. කේ. මහනාම වෙතින් විමසූ අතර එහි දී ලේකම්වරයා සඳහන් කර සිටියේ කන්තලේ සීනි කර්මාන්තායතනය වෙනුවෙන් MS Sugar Lanka සමාගමට ඉඩම් නිදහස් කිරීමේ දී පැවති නෛතික ගැටලු කිහිපයක් හේතුවෙන් අදාළ පමා වීම සිදු වූ බවය.

එසේම අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 15) සිදු කළ සාකච්ඡාවේ දී ලබා දුන් උපදෙස් අනුව ඉඩම පැවරීමට අදාළව පැනනැඟී ඇති නෛතික ගැටලු තම අමාත්‍යාංශය විසින් මේ වන විටත් නීතිපතිවරයා වෙත ලබා දී ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලු‍ව විසඳෙනු ඇති බවත් ලේකම්වරයා පැවසීය.

කෙසේ වුවත් මෙතැන ඇති පළමු ගැටලු‍ව වන්නේ අදාළ ගිවිසුම අත්සන් කරනු ලැබූ අවස්ථාවේ සිට වසර දෙකක් යනතුරු ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඇති නෛතික බාධාව ඉවත් කර ගන්නට අසමත් වීම සහ එම නෛතික බාධාව කුමක්ද යන්නය.

නිශ්චිත හේතුවක් නැහැ :

මේ සම්බන්ධව අප ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා වෙතින් කරුණු විමසීමේ දී ඒ කුමක්ද යන්න ගැන නිශ්චිතව සඳහන් කෙරුණේ නැත.

ඉතින් මේ කුමන හෝ හේතුව මත මතුව ඇති වත්මන් තත්ත්වය කියා පාන්නේ නිල ගිවිසුමකින් පසුවත් ඉඩමක් නිදහස් කරගැනීම වැනි සරල කරුණකට පවා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා මැදිහත් නොවන්නට ඊට විසඳුමක් නොමැති බවය.

එසේම එය වසර ගණනාවක් ප්‍රශ්නයක් ලෙස දින නියමයක් නොමැතිව ඉදිරියට ඇදෙන බවය.

රටේ ආර්ථික තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පැවතීමත් වත්මන් ආණ්ඩුව අපේක්ෂා කළ අන්දමේ ඍජු විදෙස් ආයෝජන මෙරටට නොපැමිණීමත් හේතුවෙන් මේ කාරණයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිත් විය.

රජයට 51% ක් :

MS Sugar Lanka සමාගම කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්ගත වන්නේ 2015 ජූලි 27 වනදා ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා සහ එම්. ජී. සුගර් ලංකා පෞද්ගලික සමාගමේ සභාපති මෙන්ඩල් ග්ලක් ඒ වෙනුවෙන් වන ගිවිසුමට අත්සන් තබන අතර ඒ සමයේ ඉඩම් අමාත්‍ය ධුරය හිමිව තිබුණේ දිවංගත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන වෙතය.

ඒ සමයේ ද ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ආචාර්ය අයි. එච්. කේ. මහනාම ය.

සමාගම සහ රජය අතර ඇති වූ ගිවිසුම අනුව MS Sugar Lanka සමාගම කන්තලේ සීනි කර්මාන්තායතනය මුළුමනින්ම නවීකරණය කළත් එහි හිමිකාරීත්වයේ කොටස් තීන්දු වන්නේ රජයට 51%ක් සහ සමාගමට 49% ක් වශයෙන්ය.

එසේම මෙම යෝජනා ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කළ අතර මෙරට සීනි ආනයනය සඳහා වැය වන විදෙස් විනිමයෙන් 20% ක් පමණ අඩු කරගන්නට ඒ තුළ අවස්ථාව තිබිණ.

මිලියන 15,000ක ආයෝජනයක් :

මේ සඳහා MS Sugar Lanka සමාගම රුපියල් මිලියන 15,000ක් ආයෝජනය කරන අතර ඒ සියලු‍ මුදල් මෙරටට එන්නේ ඍජු විදෙස් ආයෝජනයක් වශයෙන්ය. එනම් සමාගම මෙරට බැංකු හෝ රජයෙන් ඒ සඳහා මූල්‍ය පහසුකම් ලබා නොගන්නා බවය.

එසේම මෙම ව්‍යාපෘතිය හරහා නව ඍජු රැකියා 2,500ක් මෙන්ම වක්‍ර රැකියා අවස්ථා 15,000 කට ආසන්න ප්‍රමාණයක් හිමි වන අතර සීනි නිෂ්පාදනය ආශ්‍රිත දැනට ලෝකයේ භාවිත කරන නවීනතම තාක්ෂණය ගෙන ඒම ද ඊට අයත්ය.

මීට අමතරව සීනි නිෂ්පාදනය හැරුණු විට එහි ප්‍රධාන අතුරුඵලය වන මොලෑශ් හරහා වාර්ෂිකව එතනෝල් මිලියන 10ක් නිපදවන්නටත්, උක් රොඩු ඇසුරින් (Bagasse) බොයිලේරු ක්‍රියා කරවීමත් සැලසුම වී ඇත.

ඒ තුළ වාර්ෂිකව මෙගා වොට් 38-40 ක විදුලියක් උත්පාදනය කිරීමටත් එයින් සමාගමේ කටයුතු සඳහා අවශ්‍ය මෙගාවොට් 6-8 ප්‍රමාණය හැරුණු විට ඉතිරි විදුලි බලය මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමත් මෙම ව්‍යාපෘතිය තුළ ඇතුළත්ව ඇත.

එසේම ව්‍යාපෘතියෙන් මුදාහැරෙන ජලය නැවත යොදාගත හැකි අයුරින් භාවිත කිරීමත් ඉන්ධන දහනයක් නොමැතිකමත් හේතුවෙන් මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බව ද අමුතුවෙන් නොකිවමනාය.

යකඩ ගොඩේ අයිතිය ?

තවද ආයෝජන මණ්ඩලය සහ රජය සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව MS Sugar Lanka සමාගම ව්‍යාපාරික ශක්‍යතා අධ්‍යයනයන් සිදුකර පස් සහ වායු සාම්පල් පරීක්ෂාවන් සිදු කිරීම්, ව්‍යාපාරික සැලසුම් සම්පාදනය වෙනුවෙන් දකුණු අප්‍රිකානු BOSCH සමාගම කැඳවීම, පාරිසරික ඇගයීම් වාර්තාව, භූ මැනුම් කටයුතු ආදිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 කට ආසන්න වැයක් දරා ඇත.

එසේම සමස්ත උක් වගා බිම සඳහා අවශ්‍ය බීජ උක් ලබා දීම සඳහා උක් පර්යේෂණ ආයතනය ද රුපියල් මිලියන 25 - 30 ක වියදමක් දරා ඇත.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට දැනට කන්තලේ සීනි කර්මාන්තායතනයේ ඇති යකඩ ගොඩ කාටද වැනි ප්‍රශ්නයක් තුළ මෙකී ආයෝජන පමා වෙනවා නම් ආණ්ඩුවට හෙට දිනයේ ඍජු විදෙස් ආයෝජන කැඳවීම වෙනුවෙන් මොන තොවිලය නැටුව ද අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම නම් ස්ථීරය.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top