nsb

Mar 19, 2017

TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි Featured

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබාදීමට ගනුලබන උත්සාහය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි.

මාර්තු 23 වෙනිදා ජිනීවාහි පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා එම විරෝධය පළකළේ ඊයේ (18) යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය ඇතිව මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරගත් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් නොතිබූ බව මන්ත්‍රීවරයා පවසයි.

යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරන් පත් කිරීම ඇතුළු කරුණු රැසක් යෝජනාවල ඇතුළත් නමුත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සෙසු අමාත්‍යවරුත් එම යෝජනා ඉටු නොකරන බව ප්‍රසිද්ධියේ පවසන බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා, ආණ්ඩුව එවැනි ප්‍රකාශ සිදුකිරීම අසාධාරණ බව සඳහන් කළේය.

ව්‍යවස්ථාවෙන් බාධාවක් නැහැ :

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා විදෙස් විනිසුරුවරුන් යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබෙන බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදෙස් විනිසුරන් පත්කිරීමට බාධාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව චෝදනා විභාගකිරීමට පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරන් පත්කිරීම සඳහා පැවති සූදානම ඊට උදාහරණයක් වන බව ද ඔහු කියා සිටියේය.

යුද අධිකරණයක් පිහිටුවීමත් ඒ සඳහා විදෙස් විනිසුරන් පත්කිරීමත් අනිවාර්ය බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව ඔහු අවධාරණය කරයි.

අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජිනීවා සැසි වාරයේදී තවත් අමතර කාලයක් ලබා දීමට සූදානම් වන්නේනම් ඊට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරන බව කී මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සැසිවාරය හමුවේ පැහැදිලි කරන බව ද පැවසීය.

වවුනියා යෝජනාව :

දෙමළ ජාතික සන්ධානය සිය ස්ථාවරය හැටියට මාර්තු 11 වෙනිදා වවුනියාවේදී සම්මත කරගත් යෝජනාවල කිසිදු වෙනසක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, 2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව ඇතිව ජිනීවා සමුළුවේදී සම්මත කර ගත් සියලුම යෝජනා ඒ ආකරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියි.

එම යෝජනා ක්‍රියාත්මක කරනු ලැබීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(බීබීසී සංදේශය)


සබැඳි පුවත් :


විදෙස් විනිසුරන් ගෙන්වා ගැනීමට හැකියාවක් නැහැ


අලුත් ව්‍යවස්ථාවකට ජනමත මෙහෙයුම රාජිතට


රතන හිමි ව්‍යවස්ථා විරෝධී සටන අතට ගනී

'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ

'ව්‍යවස්ථා ජනමත විමසුම අපි දිනවනවා' - මංගල

ජනමතයකට ගියොත් ආණ්ඩුව පරාදයි - චම්පික

නව ව්‍යවස්ථාව : 'වචන හරඹයක්' - ශ්‍රීලනිප

"ආණ්ඩුව මුට්ටිය දාල බලනවා" - ඒකාබද්ධයෙන් චෝදනා

“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” -සුමන්දිරන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top