nsb

Mar 19, 2017

ඡන්ද ක්‍රමයේ වෙනසකට ව්‍යවස්ථා සංශෝධනයක් ! Featured

පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමවල පවතින වෙනස්කම් ඉවත් කොට එක් නිශ්චිත ක්‍රමයක් යටතේ මෙම මැතිවරණ සියල්ලම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇත.

එමෙන්ම මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත දිනයක් හෝ දින වකවානුවක් ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ද ආණ්ඩුව බලාපොරොත්තු වන බව එම ආරංචි මාර්ග පවසයි.

මේ වන විට එකිනෙකට වෙනස් ආකාරයෙන් වුවත් පැවැත්වෙන මැතිවරණවල දී සමානුපාතික නියෝජනය පදනම් කර ගත්ත ද නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් කේවල ආසන මත මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ප්‍රමුඛතාව දෙමින් සමානුපාතික නියෝජනයක් ඇති කිරීමට ද යෝජනා වී ඇත.

මේ වන විට පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර පළාත් සභා සඳහා ද නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීම සිදු කෙරෙනු ඇත.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ වෙනුවෙන් ද සීමා නිර්ණය කිරීම හා මහජන නියෝජිතයන්ගේ ප්‍රමාණය යළි සකස් කිරීම ද සිදු වනු ඇත.

කඩින් කඩ ඡන්ද අවසන් :

මේ අනුව පසුගිය කාලයෙහි මෙන් කඩින් කඩ මැතිවරණ පැවැත්වීමේ සම්ප්‍රදාය අවසන් වනු ඇති අතර ඒ ඒ මහජන නියෝජිත ආයතනවල මැතිවරණය වසරේ නිශ්චිත දිනයක පැවැත්වෙනු ඇත.

කෙසේ නමුත් මේ වන විට සිදු වෙමින් පවතින ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් ජනමත විමසුමකට යෑම සම්බන්ධයෙන් පවතින විවාදාත්මක තත්ත්වය නිසා නව මැතිවරණ ක්‍රමය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසින් සිදු කළ යුතු බවට ජනාධිපතිවරයාට ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් විසින් යෝජනා කර ඇතැයි ද දැන ගන්නට ලැබී තිබේ.

ජනමතයට තුඩු දිය හැකි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් ගණනාවක් තිබෙන බැවින් ආණ්ඩුවට ජයග්‍රහණය කළ හැකි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට මූලිකත්වය දී වෙන වෙනම ජනමත විමසුම්වලට යෑම වඩා යෝග්‍ය බව ද මෙම කණ්ඩායම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන ශ්‍රීලනිපයේ හෝ ජනාධිපතිවරයාගේ යෝජනා එම මෙහෙයුම් කමිටුව වෙත මෙතෙක් ලැබී නැති බව ද වාර්තා වේ.

පසුගිය සතියේ පැවැත්වුණු මෙහෙයුම් කමිටුවේ 52 වන සැසිවාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් විසි දෙනාගෙන් කිසිවකු හෝ සහභාගී වී නොසිටිය බව ද වාර්තා විය.

(සුභාෂ් ජයවර්ධන)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top