Mar 19, 2017

සරසවි සිසුන්ට මහපොළ නිර්මාතෘ එපාලු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 400කට නේවාසික පහසුකම් ලබා දීම සඳහා ඉදිකළ මහල් හතරකින් යුත් ගොඩනැඟිල්ලක් ලලිත් ඇතුලත්මුදලි ශාලාව ලෙස නම් කිරීමට විරෝධය දක්වමින් එහි සිහිවටන ඵලකය සිසුන් විසින් කඩා විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

මීට ඉහත දී එම ගොඩනැඟිල්ල ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින් විවෘත කිරීමට විරෝධය පළ කරමින් මහා ශිෂ්‍ය සංගමය විසින් උපකුලපතිවරයාට ලිපියක් බාර දී තිබීම නිසා සිසුන්ගේ විරෝධය සැලකිල්ලට ගනිමින් ගොඩනැඟිල්ල විවෘත කිරීම කල් දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

මේ වන විට ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

රුපියල් මිලියන 148ක් වැයකර ඉදිකර ඇති කාමර 100කින් සමන්විත එම ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවය පසුගිය 12 වනදා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

වරදක් නැහැ :

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලබා දීම ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කරනු ලැබූ බවත් නේවාසිකාගාරයක් එතුමාගේ නමින් නම් කිරීමේ වරදක් නොමැති බවත්ය.

සියලු සරසවි සිසුන්ට නේවාසිකාගාර තේමාව යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සැලසීම සඳහා සරසවි මැඳුර නේවාසිකාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

එම ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල සිසුන් 24,000කට නේවාසිකාගාර පහසුකම් සැපයීම සඳහා රුපියල් බිලියන 13.4ක වියදමින් නේවාසිකාගාර 60ක් ලබා දීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන අතර මෙය එම ව්‍යාපෘතියේ 59 වන නේවාසිකාගාරයයි.

(ප්‍රදීපා වීරසේකර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top