Mar 19, 2017

ලක්ෂ 12ක වංචාවකට මහින්දානන්දට අධිචෝදනා

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු කොන්ග්‍රසයේ අරමුදලින් මැතිවරණ කටයුතු සඳහා ලක්ෂ 12ක මුදලක් වංචනිකව ලබා ගෙන ඇති බවට චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ පසුගිය සිකුරාදා අධිචෝදනා ගොනුකර ඇත.

වෘත්තීය සමිති ආඥාපනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු විසින් සිදුකර ඇතැයි නීතිපතිවරයා එම අධිචෝදනා මගින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු කොන්ග්‍රසය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිහිටුවාගනු ලැබූවක් වන අතර එහි සභාපති වන්නේ ඔහුය.

මහින්දගේ අණ නොතැකීමේ ඉරණම :

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු මෙසේ වංචා දුෂණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මෙතෙක් අධිචෝදනා ගොනුකර ඇත්තේ උදය ගම්මන්පිල හා මහින්දානන්ද අලුත්ගමගේ යන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව පමණකි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් පහර නොගසන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට දුන් උපදෙස් නොසලකා කටයුතු කිරීම නිසා ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්ව ඇතැයි ඒකාබද්ධයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෝටිපති දුෂකයෝ නිදැල්ලේ :

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේ අගමැතිවරයාට හා ඔහුගේ සමීප හිතවතුන් වන ඇමති මලික් සමරවික්‍රම හා පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන රජයේ ප්‍රබල නිලධාරීන් ඉලක්ක කර ගනිමින් 'ටොප් ටෙන් -10 ' දුෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල්ලක් ගොනුකරනු ලැබිය.

නොරොච්චෝලෙ ගල් අඟු‍රු විදුලි බලාගාරයට ගල් අඟු‍රු සැපයීමේ දී රජයට රුපියල් මිලියන 5000ක පාඩුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන අය සිදුකර ඇති බව අලුත්ගමගේ මන්ත්‍රීවරයා එම පැමිණිල්ල මගින් අවධාරණය කර තිබේ.

කෙසේවුවද, පසුගිය පාලන සමයේ කෝටි ප්‍රකෝටි ගණනින් මහජන දේපල කොල්ල කා ඇති බවට චෝදනා කෙරුණ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි එකාබද්ධයේ 'මහින්දවාදී' මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙතෙක් අධිචෝදනා ගොනුකර නොමැත.

එහෙත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එරෙහි එක් චෝදනාවකට පමණක් පසුගියදා අධිචෝදනා ගොනුකරනු ලැබිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top