nsb

Mar 19, 2017

LED වීදි පහන් ගනුදෙනුව: කෝටි ගණනක පාඩුවක් ! Featured

දැනට පවතින සාම්ප්‍රදායික විදුලි පහන් වෙනුවට කාර්යක්ෂම එල්.ඊ.ඩී. විදුලි පහන් සවිකිරීම වෙනුවෙන් වන ව්‍යාපෘතිය කොරියන් ටෙලිකොම් සමාගමට ලබා දීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සූදානම් වන බවත් ඒ තුළ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබා දුන් නිර්දේශ නොසලකා හැර ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ‘කොරියන් ටෙලිකොම්’ සමාගම වෙත ලබා දීමට යෝජනා කර ඇත.

නමුත් ඒ සම්බන්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ තීන්දු වී ඇත්තේ එය ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත යොමු කර එහි නිර්දේශ මත කටයුතු කරන ලෙසය.

ඒ අනුව මෙම යෝජනාව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත යොමු කර ඇති අතර එම අවස්ථාවේ අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘ජර්මනියේ සීමන්ස්’ ආයතනය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට නොගැනීම සම්බන්ධව කරුණු විමසන්නට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කටයුතු කර ඇත.

එසේම එහි දී සීමන්ස් ආයතනයේ යෝජනාව ද සලකා බලා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 260 ට අධික පිරිවැය දැරීමට සිදු වන බැවින් ‘ස්විස් චැලේන්ජ් ක්‍රමවේදය’ අනුගමනය කර ඇගයීමක් කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක්ම එම අනුකමිටුව ලබා දී ඇත.

මිලියන 16,500ක අලාභයක් :

කෙසේ වුවත් මෙම ව්‍යාපෘතිය කොරියන් ටෙලිකොම් සමාගමට ලබා දීමට විරෝධය පළකරන පාර්ශ්ව පෙන්වා දෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහන් කළ ‘ස්විස් චැලේන්ජ් ක්‍රමවේදය’ නිසි ලෙස අනුගමනය කර නොමැති බවත් ඒ හේතුවෙන් රජයට රුපියල් මිලියන 16,500කට ආසන්න අලාභයක් සිදු වීමේ අවදානමක් ඇති බවත්ය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දක්වමින් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සඳහන් කර සිටියේ කාර්යක්ෂම එල්.ඊ.ඩී. විදුලි පහන් සවිකිරීම වෙනුවෙන් වන ව්‍යාපෘතිය සම්බන්ධව අමාත්‍යාංශය ‘ස්විස් චැලේන්ජ් ක්‍රමවේදය’ නිසි ලෙස ක්‍රියාවේ යෙදවූවා නම් ඒ සඳහා ඉදිරිපත් වීමට ජාත්‍යන්තර සමාගම් කිහිපයක් සූදානම්ව සිටි බවත් එහෙත් එවැන්නක් සිදු නොවූ නිසා අදාළ අවස්ථාව එම සමාගම් වෙත අහිමිව ඇති බවට දුක්ගැනවිලි ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ලැබී ඇති බවත්ය.

එහි දී එම සමාගම් මෙම ව්‍යාපෘතියට අදාළව තමන් සූදානම් කරගෙන සිටි යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස දක්වමින් එම යෝජනා ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු වෙත ලබා දී ඇති බව ද අප වෙත වාර්තා වී ඇත.

මාධ්‍යයට කීම සුදුසු නැති ලු !

කෙසේ වුවත් මේ නැගී ඇති චෝදනා සම්බන්ධව අප පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගෙන් විමසීමට කටයුතු කළ අතර එහි දී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව තවමත් කැබිනට් මණ්ඩලය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයකින් තොරව එම ව්‍යාපෘතිය කිසිසේත් ක්‍රියාත්මක නොවන බවත්ය.

එසේම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබා දුන් නිර්දේශ නොසලකා හැර තිබේද යන්න සම්බන්ධව ද අප අමාත්‍යවරයා වෙතින් විමසීමක් කළ අතර එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාකච්ඡා සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වීම සුදුසු නොවන බවත්ය.

එහෙත් කැබිනට් මණ්ඩලයේ නිර්දේශවලට පිටින් තමන් කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධව වගකීමෙන් යුතුව තමන්ට පැවසිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

(සංජය ලියනගේ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top