nsb

Mar 20, 2017

ලූෂන් විශිෂ්ඨයි ඒත් ජාතික සම්මාන උළෙලේ නෝ පාර්කින්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ අද (20) පැවැත්වෙන ජාතික සම්මාන උළෙලේ සම්මාන ලාභියකු වන ප්‍රවීණ කවියෙකු, රංගන ශිල්පියෙකු, රචකයෙකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු වන ලූෂන් බුලත්සිංහල මහතාට සිය මෝටර් රථය ගාල් කිරීමට ස්ථානයක් නොවීමෙන් ඔහු නැවත ගෙදර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයෙන් ඔහුට සම්මානය ඇති බවට කරන ලද ආරාධනයකට ආරාධනා පත්‍රයද රැගෙන ආ ලූෂන් මහතාට එහි සංවිධාකයින් සම්මානය ලබා ගැනීමට මෝටර් රථය පාරෙන් ගාල් කර එන ලෙස පවසා තිබේ.

ඒ මහතා සමඟ ඔහුගේ පුත්‍රයා හා තවත් මිතුරෙකු ද පැමිණ ඇති අතර ඔවුන් සතුව ද ආරාධනා පත්‍ර තිබී ඇත.

සම්මාන උලෙලට එන්නැයි ඇවිටිලි කළ ජනපති කාර්යාලය ආවම ලූෂන් අඳුනන්නෙත් නැති ලු

ලූෂන් මහතා තමාට සම්මානයක් ඇති බැවින් අද ටයිකෝට් පැළඳ පස්වරු 4.45 වන විට නෙළුම් පොකුණ රඟහලට පැමිණ තිබේ.

ඒ මහතා අදාළ උත්සවයට සහභාගි වන්නේ දැයි විමසමින් ජනාධිපති කාර්යාලයෙන් පසුගිය දිනවල දුරකථන ඇමතුම් ගලා ආ බවද මේ අතර වාර්තා වේ.

මෙහි සම්බන්ධීකරණ කටයුතු කර ඇත්තේ හැරල්ඩ් පීරිස් මහතා බවද පැවසේ.

මේ උත්සවය ආරම්භ කිරීමට සැලැසුම්කර ඇත්තේ පස්වරු 6.00ට බවද වාර්තා වේ.

මාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබාදෙන විශිෂ්ටතමයින් ඇගයීමට මේ උත්සවය සංවිධානය කර ඇති අතර මේ සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර 12කට පසුව බව පැවසේ.

දේශයේ ප්‍රගතිය වෙනුවෙන් එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ සිය අද්වීතිය දායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකිකයින්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් මෙය පැවැත් වේ.

මෙහිදී ජනාධිපතිවරයා අතින් පුද්ගලයින් අනූ දෙනෙකුට ජාතික සම්මාන පිරිනැමීමට නියමිත අතර උච්චතම සම්මානය වන ශ්‍රී ලංකාභිමානී සම්මානය ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ට හා අති කීර්තිමත් සේවය සඳහා එක් අයෙකුට පිරිනැමෙන බව සඳහන්වේ.

මීට අමතරව දේශමාන්‍ය සම්මාන 10ක්, දේශබන්දු සම්මාන 9ක්, විද්‍යා ජෝතී සම්මාන 11ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 2ක්, කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකා ශිඛාමනී සම්මාන 7ක්, විද්‍යානිදි සම්මාන 10ක්, කලාශූරී සම්මාන 14ක් , ශ්‍රී ලංකා තිලක සම්මාන 2ක් හා වීර ප්‍රතාප සම්මාන 2ක් ලෙස විශිෂ්ටතමයින් 89 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙන්ම පොදුවේ සියලු ලෝක ජනතාව වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් දෙදෙනෙකු සඳහා ශ්‍රී ලංකා රංජන ජාතික සම්මාන පිරිනැමෙයි.

ඒ ඒ පුද්ගලයින් විසින් සහ විවිධ මහජන සංවිධාන විසින් යොමුකරන ලද නාමයෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කිරීමෙන් පසු මෙම විශිෂ්ටතම පුද්ගලයින් අනූ දෙනා තෝරාගෙන ඇති අතර ඒ සඳහා නම් 426ක් යෝජනා වී තිබු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

comment (1)

  • amal

    අපොයි මෙහෙමත් සැලකිල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top